“යම් තැනැත්තියක් තාගේ අඹ සොරාගත්තීද, ඕතොමෝ යම්පුරුෂයෙක් බොරු කොල ගෙණ හිස නිල් කිරීමෙන් සරසාද, අඬුවෙන් සුදුකෙස් උදුරා වෙහෙසේද, එසේ වූවහුගේ වසඟබවට පැමිණේවා.
“යම් ස්ත්‍රියක් තොපගේ අඹ සොරාගත්තීද, ඕ තොමෝ උත්පත්තියෙන් විසි අවුරුද්දකට හෝ පස්විසි අවුරුද්දකට හෝ විසිනව අවුරුද්දකට හෝ පැමිණ එබඳු වයස් ඇත්තී, වල්ලභයෙකු ලබාවා.
“යම් ස්ත්‍රියක් තාගේ අඹ සොරා ගත්තීද, ඕතොමෝ අභිසාරිකාවූවා තනිව දික්වූ මග යේවා. සලකුණු කී ස්ථානයෙහි ස්වාමියා නොදකීවා.
“යම් ස්ත්‍රියක් තාගේ අඹ පැහැරගත්තීද, ඕතොමෝ මනාව හැඳි වස්ත්‍ර ඇත්තී පැළැඳි මල්දම් ඇත්තී ගැල්වූ සඳුන් කල්ක ඇත්තී සැරසුනී හුදකලාව යහනෙහි සයනය කෙරේවායි” කීයේය.
4. අම්බචොර ජාතකය.
“පවලකය, යම් කලෙක්හි වනය පාවක නම්වූද කෘෂ්ණා වර්තනී නම් වූද ගින්න දවාද එසේ වූ කල්හි මදවූ වීර්ය ඇත්තේ කෙසේ නම් කරන්නෙහිද,
“ගස් සිදුරුද පොළොවෙහි විවරයෝද බොහෝවෙත්. ඉදින් ඔවුන් කරා නොපැමිණිය හැකි වෙමුනම් අපට කාලක්‍රියාව වන්නේය.
“යමෙක් හෙමින් කටයුතු කාලයෙහි ශීඝ්‍රව කෙරේද, ශීඝ්‍රව කටයුතු කාලයෙහි හෙමින් කටයුතු කෙරේද, හෙතෙම ඇක්ම වියලී තල් පතක් මෙන් තමාට වන අභිවෘද්ධිය නසයි.
“යමෙක් සෙමින් කටයුතු කාලයෙහි සෙමින් කටයුතු කෙරේද, වහා කටයුතු කාලයෙහි වහා කටයුතු කෙරේද, හෙතෙම රාත්‍රියෙහි කෘෂ්ණ ශුක්ළ පක්ෂ වශයෙන් බෙදෙන්නාවූ චන්ද්‍රයා මෙන් ඔහුගේ සිතේ අදහස සම්පූර්ණවේ”යයි කීයේය.
5. ගජකුම්භ ජාතකය.
“සියලු කාම සම්පත්තියෙන් සමෘද්ධවූ අපගේ රජ්ජුරුවන් හැරදමා කේශව නම් භාග්‍යවත් තාපසතෙමේ කප්ප නම් තව්සාගේ ආශ්‍රමයෙහි කෙසේ නම් ඇලේද,
“නාරදය, කප්ප නම් තව්සාගේ මිහිරිවූ සිත්කළුවූ යහපත් වචනද මනහරවූ වෘක්ෂද විද්‍යමානවෙත්. මොව්හු මා සිත් අලවත්.
“පිරිසිදුවූ මාංශ රශයෙන් යුක්තවූ ඇල්සාලේ බත අනුභව කෙළේය. ලුනු නැති බොඩහමු හූරුහැල් කෙසේ නම් සතුටු කෙරේද,
“විශ්වාස බවට පැමිණියේ යම්හෙයකින් අමධුරවූද, නොහොත් මධුරවූද මඳවූ හෝ නොහොත් බොහෝවූ හෝ භොජනය අනුභව කරන්නේද, (ඒ භොජනය මධුරවේ) කුමක් හෙයින්දයත්, රසයෝ විශ්වාසය උතුම්කොට ඇත්තාහු වෙත් යයි” කීයේය.
6. කෙසව ජාතකය.
“ඉතා මහත්වූ කුළුගෙඩිය ඔසවාගෙණ ඒ තෝ අහසෙහි සිටිනේය. තෝ මාගේ රක්ෂාව පිණිස දැන් නියුක්ත වූයේ වෙහිද, (නොහොත්) මාගේ වධය පිණිස සිතන්නෙහිද,
“රජ මම මෙහි තොපගේ වධය පිණිස මෙහෙයන ලද්දේ වෙමි. තා දෙවතාවන්ට රජවූ ඉන්ද්රතෙමේද රක්ෂා කරයි. එහෙයින් තාගේ මුදුන නොපලමි.