“යමෙක් එකාන්තයෙන් සුදුසු කාලය නොපැමිණි කල්හි සීමාව ඉක්මවා කථා කෙරේද හෙතෙම කෝකිලාවගේ පුත්‍රයා මෙන් නැසුනේ මෙසේ ශයනය කෙරෙයි.
“හලාහල විෂයක් මෙන් නපුරු කොට කියන ලද්දාවූ වචනය යම්සේ එකෙණෙහි ජීවිතය හෙලාද එපරිද්දෙන් මනාකොට මුවහත් කළ ආයුධය එසේ ජීවිතය නොහෙලයි.
“එසේහෙයින් සුදුසු කාලයෙහිද නුසුදුසු කාලයෙහිද පණ්ඩිත තෙමේ වචනය රකින්නේය. තමා හා සමවූවෙකු සමීපයෙහිද සීමාව ඉක්මවා කථා නොකරන්නේය.
“නුවණ පෙරදැරි කොට ඇත්තාවූ විචක්ෂණවූ යමෙක් සුදුසු කාලයෙහි ප්‍රමාණයෙන් යුක්තව කථා කරන්නේද හෙතෙමේ ගුරුළා සර්පයෙකු මෙන් සතුරන් ගන්නේය” කීයේය.
කොකිලජාතකං (කොකාලිකජාතකං (සබ්බත්ථ)) පඨමං.
“එකෙක්, තෙමේ පැහැරද අනුන් විසින් පහරණ ලද්දෙමි”යි කියයි. තෙමේ දිනාද අනුන් විසින් දිනන ලද්දෙමි’යි කියයි. පළමු කියන්නහුගේ බස් රජ්ජුරුවනි, ඒකාන්තයෙන් නොඅදහන්නේය.
“එසේ හෙයින් පණ්ඩිත ස්වභාව ඇති රජ තෙමේ අනිකාගේද බස අසන්නේය. දෙදෙනාගේ වචනය අසා විනිශ්චය ස්වභාවය යම්සේද එසේ කරන්නේය.
“සම්පත් කැමැත්තාවූ අලසවූ ගෘහස්ථයා යහපත් නොවේ. සංයමයක් නැත්තාවූ ප්‍රව්‍රජිතයා යහපත් නොවෙයි පරීක්ෂා නොකොට කටයුතු කරන්නාවූ රජද යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් කිපෙන සුලුද ඒ කිපීම යහපත් නොවේ.
“දිශානායකවූ රජතුමනි, ක්ෂත්‍රියතෙමේ පරීක්ෂා කොට කටයුතු කරන්නේය. පරීක්ෂාවක් නොකොට යම් ක්‍රියාවක් නොකරන්නේය. රාජය, හොඳ නරක සොයා කටයුතු කරන්නහුගේ පරිවාර ආදි යශසද කීර්ති ඝොෂාවද වැඬේයයි කීයේය.
රථලට්ඨිජාතකං දුතියං.
“රාජොත්තමය, කඩුව දැරුවාවූ, සන්නද්ධවූ, ගස් පොතුවලින් කළ සිවුරු හඳනාවූ, යම්බඳුවූ ඔබගේ ගිනි අඟුරෙහි පිළිස්සූ ගොයා වනය මැද බෝ අත්තෙහි එල්ලුනේ පැන ගියේද එසේ හෙයින් එකල්හිම මා විසින් ඔබ දැන ගන්නා ලද්දේය.
“තමහට නැමෙන්නහුට නැමෙන්නේය. තමා සෙවනය කරන්නහු සෙවනය කරන්නේය. තමහට අනුව කටයුතු කරන්නහුට සුදුසු කටයුතු කරන්නේය. තමාට අවැඩ කැමැත්තහුට වැඩක් නොකරන්නේය. තමා වෙත නොපැමිණෙන්නහු කරා තෙමේද නොපැමිණෙන්නේය.
“තමා හරණහු තෙමේද හරණේය. මිත්‍රකමින් එක්වීම නම් තෘෂ්ණාව නොකරන්නේය. නොඇළුණු සිතින් නොඑළඹෙන්නේය. කුමක් හෙයින්දයත්, පක්ෂිතෙමේ ගෙඩි නැති ගස හැඳින අනෙක් ඵල ඇති ගසක් බලා යන්නේය, එසේමැයි. ලෝකය මහත්වේමැයි
“රාජකන්‍යාව කළගුණ දන්නා බව සලකන්නාවූ ඒ මම හැකි පමණින් තීට උපකාර කරන්නෙමි. තීට සියලු ඓශ්චර්ය දෙමි. යමෙකුට තෝ දෙනු කැමැත්තෙහිද ඔහුට කැමති දෙයක් දෙවයි’ කීයේය.
පක්කගොධජාතකං (ගොධජාතකං (සී. ස්‍යා. පී.)) තතියං.
“ගඟ එතෙර වන්නාවූ ගවයන් අතුරෙන් ප්‍රධාන ගවතෙම ඉදින් වක්වූයේද, ප්‍රධාන ගවයා වක්ව ගියකල්හි ඒ සියලු ගවයෝ වක්වයෙති.
“එපරිද්දෙන්ම මනුෂ්‍යයන් අතුරෙහි ශ්‍රේෂ්ඨයයි ප්‍රසිද්ධවූ යමෙක්වේද, ඒ රජතෙම ඉදින් අධර්මයෙහි හැසිරේද, සෙසු ප්‍රජාතොමෝ කියනුම කවරීද, ඉදින් රජතෙම අධර්මයෙන් යුක්තවේ නම් සියලු රට වැසියාද දුකසේ සයනය කරයි.
“ගඟින් එතෙරවන්නාවූ ගවයන් අතුරෙන් ඉදින් ප්‍රධාන ගවයා ඍජුවයේද, ප්‍රධාන ගවයා ඍජුව යනකල්හි සියලු ගවයෝ ඍජුවම යෙත්.
“එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි යමෙක් ප්‍රධානයයි සම්මතවේද, ඉදින් හෙතෙම කුශල ධර්මයෙහි හැසිරේද, සෙසු ජනයෝ කියනුම කවරේද, ඉදින් රජතෙම ධාර්මික වේ නම් සියලු රට වැසියා සුවසේ වාසය කෙරේයයි” කීයේය.
රාජොවාදජාතකං චතුත්ථං.
“ජම්බුකය, ඒ ඇත්තෙම මහත්ය ඉතා වැඩුනු ශරීර ඇත්තේය. දික්වූ දළ ඇත්තේ මැයි. යම් කුලයෙක්හි උපන්නෝ ඒ ඇතු ගනිද්ද, ඒ කුලයෙහි තෝ උපන්නේ නොවෙහිය.
“සිංහ නොවූ යමෙක් සිංහ යෙමි යන මානයෙන් වැඩ කෙරේද, හෙතෙම ඇතු කරා පැමිණ තතනන්නාවූ හිවලා මෙන් බිම සයනය කෙරෙයි.
“යසස් ඇත්තාවූ මනාකොට හටගත් ශරීරය ඇති මහත් බල ඇති උතුම් පුද්ගලයෙකුගේ ඥාන ශක්තිය හා කාය බලයද, උත්පත්තියද, පරීක්ෂා නොකොට ඇතු විසින් නසන ලද්දාවූ ඒ මේ සිවලා සයනය කෙරෙයි.
“යමෙක් වනාහි මේ ලෝකයෙහි තමා කෙරෙහි ඤාණ ශක්තිය හා කාය බලයද ප්‍රමාණකොට දැන කටයුතු කෙරේද, ඒ පරීක්ෂා ඥාණයෙන් යුක්ත පුද්ගලතෙම ප්‍රඥාවෙන්ද මන්ත්‍රණයෙන්ද, නිරවද්‍ය වචනයෙන්ද, මහත් කොට දිනාය”යි කීයේය.
ජම්බුකජාතකං පඤ්චමං.