“රාධය, පෙර මේ රජ සමීපයෙන් යම්බඳු ආහාර පානයක් ලබම්ද, එය දැන් වඳුරෙකු කරා යන්නේය. එසේ හෙයින් ධනඤ්ජය රජු විසින් අපි සත්කාර නොකරණ ලද්දෝම වෙමු. දැන් වනයටම යමු.
“පොට්ඨපාදය, ලාභය, අලාභය, කීර්තිය, අපකීර්තිය නින්දාවය, ප්‍රශංසාවය, සැපය, දුකය යන මේ අෂ්ට ලෝක ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි අනිත්‍යයහ. එහෙයින් ශෝක නොකරව. කුමකට ශොක කෙරෙහිද?
“රාධය, ඒකාන්තයෙන් නුඹ පණ්ඩිතයෙක් විය. එසේ හෙයින් අනාගතවූ අර්ථයන් දන්නෙහිය. රාජ භවනයෙන් නෙරපන ලද හීනවූ මේ වඳුරා කෙසේ නම් දකින්නෙමුද?
“කණ සොලවයි. බැම බිඳීම කරයි. ක්ෂණ ක්ෂණයෙහි රජ කුමරුන් භය ගන්වයි. යම් හෙයකින් ආහාර පානයෙන් දුරුව සිටින්නේද එහෙයින් කාලබාහු නම් වඳුරා තෙමේම ඒ කාරණය කර ගන්නේයයි” කීයේය.
කාළබාහුජාතකං නවමං.
“ලෝකයෙහි ශීලය වනාහි යහපත්ය. ශීලය නිරුත්තරය. බලව, දරුණු විෂ ඇති නාගයා සිල්වත්යයි නොනසයි.
“යම්තාක් මේ උකුස්සාගේ මුඛයෙහි කිසිවක් වීද ඒතාක්ම ලෝකයෙහි උකුස්සෝ එකතුව කෑවාහුය. කිසිවක් නැත්තහු හිංසා නොකෙරෙත්.
“ආශා නැත්තී සුවසේ නිදයි. ඵල ඇත්තාවූ ආශා තොමෝ සැපයට කරුණුවේ. පිංගලා නම් දාසිය ආශාව සිඳ සුවසේ නිදයි.
“මේ ලෝකයෙහිද පරලෝකයෙහිද සමාධියට වැඩියක් නැත. එසේමැයි එකඟවු සිත් ඇත්තේ අන්‍යයාටද හිංසා නොකෙරෙයි. තමාටද හිංසා නොකෙරේයයි” කීයේය.
සීලවීමංසජාතකං දසමං.
කුටිදූසකවග්ගො තතියො.
එහි උද්දානය:
සමනුස්ස, සද්දදභ, යාචනක, මෙණ්ඩවරුත්තම, ගොධවර, කාය, සකෙබුක, භොතිවර, රාධ සහ සුසීලවර යන දසයයි.
4. කොකිල වර්ගය
“යමෙක් එකාන්තයෙන් සුදුසු කාලය නොපැමිණි කල්හි සීමාව ඉක්මවා කථා කෙරේද හෙතෙම කෝකිලාවගේ පුත්‍රයා මෙන් නැසුනේ මෙසේ ශයනය කෙරෙයි.
“හලාහල විෂයක් මෙන් නපුරු කොට කියන ලද්දාවූ වචනය යම්සේ එකෙණෙහි ජීවිතය හෙලාද එපරිද්දෙන් මනාකොට මුවහත් කළ ආයුධය එසේ ජීවිතය නොහෙලයි.
“එසේහෙයින් සුදුසු කාලයෙහිද නුසුදුසු කාලයෙහිද පණ්ඩිත තෙමේ වචනය රකින්නේය. තමා හා සමවූවෙකු සමීපයෙහිද සීමාව ඉක්මවා කථා නොකරන්නේය.
“නුවණ පෙරදැරි කොට ඇත්තාවූ විචක්ෂණවූ යමෙක් සුදුසු කාලයෙහි ප්‍රමාණයෙන් යුක්තව කථා කරන්නේද හෙතෙමේ ගුරුළා සර්පයෙකු මෙන් සතුරන් ගන්නේය” කීයේය.
කොකිලජාතකං (කොකාලිකජාතකං (සබ්බත්ථ)) පඨමං.
“එකෙක්, තෙමේ පැහැරද අනුන් විසින් පහරණ ලද්දෙමි”යි කියයි. තෙමේ දිනාද අනුන් විසින් දිනන ලද්දෙමි’යි කියයි. පළමු කියන්නහුගේ බස් රජ්ජුරුවනි, ඒකාන්තයෙන් නොඅදහන්නේය.
“එසේ හෙයින් පණ්ඩිත ස්වභාව ඇති රජ තෙමේ අනිකාගේද බස අසන්නේය. දෙදෙනාගේ වචනය අසා විනිශ්චය ස්වභාවය යම්සේද එසේ කරන්නේය.
“සම්පත් කැමැත්තාවූ අලසවූ ගෘහස්ථයා යහපත් නොවේ. සංයමයක් නැත්තාවූ ප්‍රව්‍රජිතයා යහපත් නොවෙයි පරීක්ෂා නොකොට කටයුතු කරන්නාවූ රජද යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් කිපෙන සුලුද ඒ කිපීම යහපත් නොවේ.
“දිශානායකවූ රජතුමනි, ක්ෂත්‍රියතෙමේ පරීක්ෂා කොට කටයුතු කරන්නේය. පරීක්ෂාවක් නොකොට යම් ක්‍රියාවක් නොකරන්නේය. රාජය, හොඳ නරක සොයා කටයුතු කරන්නහුගේ පරිවාර ආදි යශසද කීර්ති ඝොෂාවද වැඬේයයි කීයේය.
රථලට්ඨිජාතකං දුතියං.
“රාජොත්තමය, කඩුව දැරුවාවූ, සන්නද්ධවූ, ගස් පොතුවලින් කළ සිවුරු හඳනාවූ, යම්බඳුවූ ඔබගේ ගිනි අඟුරෙහි පිළිස්සූ ගොයා වනය මැද බෝ අත්තෙහි එල්ලුනේ පැන ගියේද එසේ හෙයින් එකල්හිම මා විසින් ඔබ දැන ගන්නා ලද්දේය.
“තමහට නැමෙන්නහුට නැමෙන්නේය. තමා සෙවනය කරන්නහු සෙවනය කරන්නේය. තමහට අනුව කටයුතු කරන්නහුට සුදුසු කටයුතු කරන්නේය. තමාට අවැඩ කැමැත්තහුට වැඩක් නොකරන්නේය. තමා වෙත නොපැමිණෙන්නහු කරා තෙමේද නොපැමිණෙන්නේය.