“යම් ගුරුළු භවනයෙක්හි මාගේ ප්රියාව වෙසේද, එයින් මේ සුගන්ධය හමයි. යමක කෙරෙහි මාගේ සිත ඇළුනේවේද? ඒ කාකාතිතොමෝ මෙයින් දුරවේ.
“ජම්බුද්වීප සමුද්රය කෙසේ එතෙර කෙළේද, ඉන් ඔබ්බෙහි කේබුක නම් ගංගාව කෙසේ එතෙර කෙළේද, සප්ත සීදන්ත සාගරයන් කෙසේ එතෙර කෙළේද, අපගේ හිඹුල් ගසට කෙසේ නැංගේද?
“තා කරණකොටගෙණ සමුද්රය එතෙර කෙළෙමි. තා කරණකොටගෙණ කේබුක නම් ගඟ එතෙර කෙළෙමි. තා කරණකොටගෙණ සප්ත සාගරයන් එතෙර කෙළෙමි. තා කරණකොට ගෙණ හිඹුල් ගසට නැගුනෙමි.
“යම් හෙයකින් මාගේ ප්රියාවට මම ම සොර සැමියා උසුලාගෙණ ගියෙම්ද, නැවත උසුලාගෙණ ආයෙම්ද, එසේ හෙයින් මහත්වූ ශරීරය ඇති මට නින්දා වේවා. මහත් සිරුර බැවින් සැහැල්ලු බව බර බව නොහැගෙන්නාවූ මට නින්දා වේවායි” කීයේය.
කාකවතීජාතකං සත්තමං.
“පින්වතිතොමෝ බොහෝ මළවුන් අතර විද්යාමානය හෙවත් ගණිනු ලැබේ. ඒ මළවුන් හා පවත්නී මට කිනම් තැනැත්තියක් වන්නීද, එහෙයින් ප්රියවූ නිතර සිනහ ඇත්තියට ශොක නොකරමි.
“ඉදින් ඒ අනුව ශොක කරන්නහුගේ යමක් යමක් නැද්ද, හෙවත් මළේද, ඒ ඒ මළහුට අනුව ශොක කරන්නේය. හැම කල්හි මරුවාගේ වසඟයට ගියාවූ මටම මම අනුව ශොක කරන්නෙමි.
“ඒ ආයු සංස්කාරය තෙම සිටින්නහු අනුවයයි නොනවතියි හුන්නහු අනුව යයි නොනවතියි. සයනය කරන්නහු අනුවයයි නොනවතියි. පෙරලීහොත්තහු අනුවයයි නොනවතියි. යම්බඳු ඇසිපිය හෙලීමක් නැඟීමක් වේද එබඳු සුළුකාලයෙහිද යෞවන ආදී වයස ගමන් කෙරේ.
“එහිලා ඒකාන්තයෙන් වයස් නොපිරිපුන් කල්හි වෙන්වීම සැක නැතිකල්හි නොමළහුට මෛත්රී කටයුතුයි. පහව ගියහුට හෙවත් මළහුට ශොකනොකොටයුතුයි” කීයේය.
අනනුසොචියජාතකං අට්ඨමං.
“රාධය, පෙර මේ රජ සමීපයෙන් යම්බඳු ආහාර පානයක් ලබම්ද, එය දැන් වඳුරෙකු කරා යන්නේය. එසේ හෙයින් ධනඤ්ජය රජු විසින් අපි සත්කාර නොකරණ ලද්දෝම වෙමු. දැන් වනයටම යමු.
“පොට්ඨපාදය, ලාභය, අලාභය, කීර්තිය, අපකීර්තිය නින්දාවය, ප්රශංසාවය, සැපය, දුකය යන මේ අෂ්ට ලෝක ධර්මයෝ මනුෂ්යයන් කෙරෙහි අනිත්යයහ. එහෙයින් ශෝක නොකරව. කුමකට ශොක කෙරෙහිද?
“රාධය, ඒකාන්තයෙන් නුඹ පණ්ඩිතයෙක් විය. එසේ හෙයින් අනාගතවූ අර්ථයන් දන්නෙහිය. රාජ භවනයෙන් නෙරපන ලද හීනවූ මේ වඳුරා කෙසේ නම් දකින්නෙමුද?
“කණ සොලවයි. බැම බිඳීම කරයි. ක්ෂණ ක්ෂණයෙහි රජ කුමරුන් භය ගන්වයි. යම් හෙයකින් ආහාර පානයෙන් දුරුව සිටින්නේද එහෙයින් කාලබාහු නම් වඳුරා තෙමේම ඒ කාරණය කර ගන්නේයයි” කීයේය.
කාළබාහුජාතකං නවමං.
“ලෝකයෙහි ශීලය වනාහි යහපත්ය. ශීලය නිරුත්තරය. බලව, දරුණු විෂ ඇති නාගයා සිල්වත්යයි නොනසයි.
“යම්තාක් මේ උකුස්සාගේ මුඛයෙහි කිසිවක් වීද ඒතාක්ම ලෝකයෙහි උකුස්සෝ එකතුව කෑවාහුය. කිසිවක් නැත්තහු හිංසා නොකෙරෙත්.
“ආශා නැත්තී සුවසේ නිදයි. ඵල ඇත්තාවූ ආශා තොමෝ සැපයට කරුණුවේ. පිංගලා නම් දාසිය ආශාව සිඳ සුවසේ නිදයි.
“මේ ලෝකයෙහිද පරලෝකයෙහිද සමාධියට වැඩියක් නැත. එසේමැයි එකඟවු සිත් ඇත්තේ අන්යයාටද හිංසා නොකෙරෙයි. තමාටද හිංසා නොකෙරේයයි” කීයේය.
සීලවීමංසජාතකං දසමං.
කුටිදූසකවග්ගො තතියො.
එහි උද්දානය:
සමනුස්ස, සද්දදභ, යාචනක, මෙණ්ඩවරුත්තම, ගොධවර, කාය, සකෙබුක, භොතිවර, රාධ සහ සුසීලවර යන දසයයි.