540. “මේ සියල්ල ලාමකය. යමෙකුත් මොහු හදාරවාද, යමෙක් වනාහී ධර්මය හදාරාද, මේ දෙදෙන පුරාතන ධර්මය නොබලත්. දෙදෙනාම ප්‍රකෘති ධර්මයෙන් චුතවූහ.
541. “පවිත්‍රවූ මාංශ රසයෙන් යුක්තවූ ඇල්සාලේ බත අනුභව කරමි. එහෙයින් බුද්ධාදීන් විසින් සේවණය කරණ ලද මේ ධර්මය සේවනය නොකෙළෙමි.
542. “මෙයින් අන් තැනකට යව, ලෝකය මහත්වේ. සෙසු සත්වයෝද පිසත්. හැසිරෙන ලද මේ අධර්මය. නුඹ ගලෙන් කළයක් බිඳින්නාක් මෙන් නොබිඳීවා.
543. “බමුණ ඒ යසස් ලාභයටද, වස්තු ලාභයටද, අපායෙහි වැටෙන පරිද්දෙන් හෝ අධර්මචර්යාවෙන් හෝ යම් පැවැත්මක් ඇද්ද, එයට නින්දාවේවායි” කීයේය.
ඡවකජාතකං නවමං.
544. “සමුද්‍රය පිරිවරා සිටි චක්‍රවාට පර්වතය හා සමග සාගරයට කුණ්ඩලාභරණයක් වැනිවූ මහ පොළොව නින්දා සහිතව නොකැමැත්තෙමි. සය්හය, මෙසේ දැනගනුව.”
545. “බමුණ, යසස් ලැබීමටද වස්තු ලැබීමටද අපායෙහි වැටෙන පරිද්දෙන් අධර්මයෙහි හැසිරීමෙන් හෝ යම් පැවැත්මක් වේ නම් එයටද නින්දා වේවා.
546. “ඉදින් පාත්‍රයක් ගෙණ ගෘහ රහිතවූයේම, සිඟා ඇවිදිනෙම්ද, අධර්මයෙන් යම්බඳු සෙවීමක් ඇද්ද, මට වඩා ඒ සිඟා ඇවිදීමෙන් වන ජීවිකාවම උතුම් වේ.
547. “ලෝකයෙහි අනිකෙකු නොවෙහෙසමින් ඉදින් පාත්‍රයක් ගෙණ ගෙවල් නැත්තේම සිඟා ඇවිදින්නෙම් නම් එය රාජ්‍යයටත් වඩා උතුම් යයි” කීයේය.
සෙය්‍යජාතකං (සය්හජාතකං (සී. ස්‍යා. පී.)) දසමං.
කාලිඞ්ගවග්ගො (විවරවග්ගො (සී. පී.)) පඨමො.
එහි උද්දානය:
විවර ද, අදෙය්‍ය ද, වර සමිද්ධ ද, ඉක්බිති දද්දර ද, පාප ද, මහා අතිරහො ද, ඉක්බිති කොලි ද, පලාස ද, අර ද, චරිම ද, සසමුද්දවරෙන ද (යන මේ ජාතකයෝ) දස දෙනෙකි.
2. පුචිමන්දවග්ගො
548. “චෞරය, නැගිටුව, කුමකට වැද හෝනෙහිද? තට වැද හෙවීමෙන් කවර ප්‍රයෝජනයෙක්ද? ගමෙහි දරුණුකම් කළාවූ තා රජදරුවෝ අල්වා නොගණිත්වා.
549. “ගමෙහි වරද කළාවූ සොරු ගන්නාහුය යන යමක් ඇද්ද, වනයෙහි හටගෙන සිටියාවූ කොසඹ ගසට එහිලා කුමක් වේද?
550. “අස්වත්ථය මාගේද, සොරුගේද, අතර නුඹ නොදන්නෙහිය ගමෙහි වරද කළාවූ සොරු රජදරුවෝ ගෙණ කොසඹ හුලෙහි හිඳුවත්. මාගේ සිත ඒ කාරණයෙහි සැක කෙරේ.
551. “සැක කටයුත්තන් සැක කරන්නේය නොපැමිණියාවූ භය රකින්නේය. නොපැමිණියාවූ බිය හේතු කොට ගෙන ප්‍රාඥතෙම මෙලෝ පරලෝ දෙක බලන්නේ යයි” කීයේය.
පුචිමන්දජාතකං පඨමං.
552. “කාශ්‍යපය, ලදරු බැවින් තරුණයා ආක්‍රොශ කරයි. පහරදීම හෝ කෙරෙයි. ප්‍රාඥතෙමේ ඒ සියල්ලම ඉවසයි. පණ්ඩිතතෙම එය සමාකෙරේ.
553. “ඉදින් වනාහි සත්පුරුෂයෝ විවාද කෙරෙත්ද, වහාම එකතු වෙති. නැවත අඥානයෝ මැටිපාත්‍ර මෙන් බිඳෙත්. ඔවුහු සංසිඳීමට නොපැමිණෙත්.
554. “යමෙක් වනාහි තමා මැඩ උපන් ද්වේෂය දනීද, යමෙකුත් වරදවූ දෙසීම දනීද, මොවුහු බොහෝසෙයින් එක්වීමට යෙත්. ඔවුන්ගේ මිත්‍ර භාවය නොනසී.
555. “යමෙක් ද්වේෂයෙන් යටපත් කරණ ලද්දාවූ අන්‍යයන් සන්ධානය කරන්ට තෙමේ සුදුසු වේද, මෙතෙම වනාහී අතිශයෙන් උතුම්වූයේ බර උසුලන්නෙක් ධුරය උසුලන්නෙක් වන්නේයයි” කීයේය.
කස්සපමන්දියජාතකං දුතියං.
556. “මහාවීරය, යමෙක් ඔබගේ අත් දෙකද පා දෙකද, කන් හා නාසයද, සින්දේද, ඔහුට කිපෙනු මැනව, මෙරට විනාශ නොකරනු මැනව,
557. “යමෙක් මාගේ අත් දෙකද, පා දෙකද කන් හා නාසයන්ද සිඳවීද, ඒ රජතෙම බොහෝ කලක් ජීවත්වේවා, මා වැන්නෝ නොකිපෙත්.
558. “අතීත කාලයෙහි ක්ෂාන්තිය ප්‍රකාශ කරණ ශ්‍රමණයෙක් විය. ක්ෂාන්තියෙහිම සිටියාවූ ඔහු කසී රජතෙම කැප්පවී.