472. මහරජ, වෙන වෙන අදහස් ඇත්තෝ වූ අපි එක ගෙයි වසමු. එහෙයින් මම ගම්වරයක් කැමැතිවෙමි. බැමිණිද, ගවයන් සියයක් කැමැත්තීය.
473. මාගේ පුත්‍රවූ ඡත්‍ර නම් මානවකයා ආජානීය අශ්ව රථයක් කැමැත්තේය. මාගේ යෙහෙලිද මාණික්‍ය කුණ්ඩලාභරණයක් කැමැත්තීය. හීනවූ යම් මේ පූර්ණකා නම් දාසියක් ඇද්ද, ඕතොමෝ කුල්ල මෝල හා සමග වංගෙඩියක් කැමතිවේ.
474. බ්‍රාහ්මණයාහට ගම්වරයක්ද බැමිණියට ගවයන් සියයක්ද ඡත්‍ර නම් බ්‍රාහ්මණ පුත්‍රයාහට ආජානීය අසුන් යෙදූ රථයක්ද යෙහෙළිවූ කන්‍යාවට මිණි කොඬොලක්ද, යම් පූර්ණිකා නම් ලාමකවූ දාශියක් ඇද්ද, ඇයට වංගෙඩියක් හා මොහොළක්ද පිළියෙල කොට දෙව්යයි.
9. නානාච්ඡන්දජාතකං.
475. ආචාර ශීලයම යහපත් වේමැයි, ලෝකයෙහි ශීලය, නිරුත්තරය, බලව, දරුණු විෂ ඇති, නාගතෙමේ සිල්වත්යයි නොනසනු ලැබේ.
476. සිල්වත්වූ පුරුෂතෙම යම් ශීලයකින් බුද්ධාදීවූ ආර්යයන්ගේ ප්‍රතිපත්තියෙහි හැසිරේයයි කියනු ලැබේද, ලෝකයෙහි යහපතකැයි දන්නා ලදද, එසේවූ ශීලය, ඒ මම සමාදන් වෙමි.
477. සිල්වත් තෙමේ නෑයන්ටද පියවූයේ වෙයි. මිත්‍රයන් කෙරෙහිද බබළයි. ශරීරයාගේ බිඳීමෙන් මත්තෙහි සුගතියෙහි උපදීයයි.
10. සීලවීමංසජාතකං.
අබ්භන්තරවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
අබ්භන්තර, සෙය්‍යංස, වඩ්ඪකීසූකර, සිරි, මණිසූකර, සාලුක, ලාභගරහ, මච්ඡුද්දාන, නානාච්ඡන්ද, සීලවීමංස යන දස ජාතකයෝ ද වෙත්.
5. කුම්භ වර්ගය
සියලු කැමති වස්තූන් දීමට සමර්ථවූ කුම්භ නම්වූ කළය ලදින් ඒ ධූර්තකයා යම්තාක් ඒ කළය රක්ෂා කෙරේද, ඒතාක් කල් හෙතෙම සැපය වඩන්නේය.
යම් කලෙක්හි සුරාවෙන් මත්වූයේද, ආඩම්බර වූයේ එකල්හි ප්‍රමාදයෙන් කළය බිඳුනේය. ඉක්බිත්තෙන් නග්න වූද එකතු කොටගත් රෙදි කැබලි මසා හැන්දාවූද, අඥානතෙම පසුව වැනසේද,
එපරිද්දෙන්ම යම් පුරුෂයෙක් වස්තුව ලබා පමණ නොදන්නේ අනුභව කෙරේද, ඒ නුවණ නැත්තේ භද්‍රඝටය බිඳිනා ලද ධූර්තකයා මෙන් පසුව තැවේයයි’ කීයේය.
1. භද්‍රඝට ජාතකය.
මහරජ, බාරාණසියෙහි නිබඳව වසන්නාවූ අසූ දහසක් පමණ කවුඩන්ගෙන් පිරිවැරූ සුපත්ත නම් කවුඩු රජෙක් ඇත.
ඔහුගේ දෙළදුක් ඇත්තාවූ සුපස්සා නම් භාර්යාව රජ්ජුරුවන්ගේ මුළුතැන් ගෙයි පිසූ වෙන වෙන මාහැඟිවූ රාජ භොජනය අනුභව කරන්ට කැමති වේ.
ඔවුන්ගේ මම දූතයෙක්මි. රජු විසින්ද මෙහෙයන ලද්දේ මෙහි ආවෙමියි. මාගේ ස්වාමියාට සත්කාර කෙරෙමි. එසේහෙයින් භත්ත කාරකයාගේ නාසිකාවෙහි වණය කෙළෙමියි’ කීයේය.
2. සුපත්ත ජාතකය.
එක්තරා පාණ්ඩු රෝග නම්වූ ව්‍යාධියකින් දැඩිකොට පහරණ ලද දුක්ඛිතවූ පෙළෙන්නාවූ මාගේ මේ ශරීරය අව්වෙහි වූ හුණු වැල්ලෙහි තබන ලද මලක් මෙන් වියළෙන්නේය.
පවිත්‍ර නොවූ මේ ශරීරය පවිත්‍ර යයි, අඥානයන් විසින් කියන ලදී. යහපත් නොවූ මේ ශරීරය යහපත්යයි සම්මතය. කේශාදී නොයෙක් කුණපයන්ගෙන් සම්පූර්ණවූ මේ ශරීරය නුවණින් නොබලන්නාහට පවිත්‍ර ස්වරූපයෙන් වැටහේ.
යම් ශරීරයෙක්හි ක්ලෙශ මුර්ච්ඡාවෙන් ඉතා මුසපත්වූ සත්වයෝ සුගතියෙහි ඉපදීමට මාර්ගය පිරිහෙළත්ද, එසේවූ ආතුරවූ පිළිකුල් කටයුතුවූ අපවිත්‍රවූ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාවූ මේ කුණු ශරීරයට නින්දා වේවායි’ කීයේය.
3. කායවිච්ඡන්ද ජාතකය.