409. යමෙක් ඒකාන්තයෙන් සියලු රැස්වූවන් අතුරෙන් ශ්‍රේෂ්ඨයයි ප්‍රසිද්ධවූයේ වීද ඔහුගේද මේ ප්‍රඥාතොමෝ මෙබඳුවී. අන්‍යවූ ලාමකවූ ප්‍රජා තොමෝ කෙබඳුවීද,
410. බමුණ, නුඹ කාරණා කාරණා නොදැන මෙසේ නින්දා කෙරෙහි බිම බැස පිහිටියාවූ මුල නොදැක ගස කෙසේ නම් දැන ගන්නේද?
411. මම තොපටද වනයෙහි යම් අනික් වානර කෙනෙක් ඇත්නම් ඔවුන්ටද නින්දා නොකරමි. යළි එකෙක් ඇත යමෙකු සඳහා තොප වැන්නෝ ආරාම රෝපක ධුරයෙහි සිටියාහුද, ඒ විශ්වසේන නම් රජම නින්දා කටයුත්තේයයි’ කීයේය.
8. ආරාම දූසක ජාතකය.
412. වර්ණයෙන් යුක්තවූ ශබ්දයෙන් මිහිරිවූ ප්‍රිය දර්ශන ඇත්තාවූ යමක්හු රළු වචන ඇත්තාහුද, ඔව්හු මෙලොවද පරලොවද සියල්ලන්ට නොම ප්‍රිය වෙත්.
413. තෘෂ්ණාවූ දුර්වර්ණවූ තල කැළලින් යුක්තවූ මේ කෝකිලාව දක්නෙහි වේද, ඒ කෝකිළයා පවා මියුරුකොට බිණීමෙන් බොහෝවූ ප්‍රාණීන්ට ප්‍රිය වූයේය.
414. එහෙයින් මොළොක් වචන ඇති, පමණ දැන කථා කරන, උඩඟු නොවූ යමෙක් අර්ථයත් ධර්මයත් ප්‍රකාශ කරයිද, ඔහුගේ වචනය මිහිරි වේ.
9. සුජාත ජාතකය.
415. සියලු ඥාතීන් විසින් කවුඩු තෙම ඊශ්වරයා කරන ලද්දේය. ඉදින් ඥාතීන් විසින් අනුදන්නා ලද්දේ නම් මම එක් වචනයක් කියමි.
416. මිත්‍රය, අනුදන්නා ලද්දෙහි අර්ථයත් ධර්මයත් හුදෙක් කියව. තේජස් ඇති ප්‍රඥාවත් තරුණ පක්ෂීහු ඇත්තාහ.
417. භවතුනි, උලූකයාගේ අභිෂේකය මට රුචි නොවේ. නොකෝප වූවහුගේ මුහුණ බලව. කිපුණේ කෙසේ කරන්නේද?
10. උලූක ජාතකය.
පදුමවග්ගො දුතියො.
එහි උද්දානය:
පදුම, නාග, සිරිව්හය, සමහණ්ණව, යූප, ඛුරප්ප, කුණ්ඩලී, කුඤ්ජර, රුක්ඛ, ඛරවාච සහ උලූක යන මේ දසයයි.
3. අරඤ්ඤවග්ගො
418. වනවාසීවූ බොහෝ කල් තපස් කළාවූ සෘෂිහුගේ අමාරුවෙන් කරණලද පැන් ලිඳ යහළුව, කෙසේ නසන්නෙහිද?
419. පැන් බී (ලිඳට) වර්චස් කිරීම යම් හෙයකින් වේද, මෙය සිවලුන්ගේ ස්වභාවයයි. පිය මුතුන් මිත්තන්ගේ මේ ධර්මයෙහි නුඹ කිපිය යුතු නොවේ.
420. නුඹලාගේ යම්බඳු ධර්මයක් මෙබඳු වේ නම් අධර්මය කවර ආකාර වේද? නුඹලාගේ ධර්මය හෝ අධර්මය හෝ කිසිකලෙකත් නොදකිමු.
1. උදපානදූසකජාතකං.
421. යම් මිත්‍රයෙකු හා එක්වීමෙන් යෝගක්ෂේමය (සැනසීම) නැසෙයිද, නුවණැත්තා කලින්ම (එබඳු මිතුරාගෙන්) තමාගේ ඇසක් මෙන් (පරිස්සමින්) රක්ෂා කරගන්නේය.
422. යම්බඳුවූ කල්‍යාණ මිත්‍රයකු හා සමග කළ ආශ්‍රය හේතුකොටගෙන කායචිත්ත දෙදෙනාගේ සුඛභාව වැඬේද නුවණැති පුරුෂතෙම ඔහුගේ සියලු කටයුත්තෙහි තමා හා සමවූ පැවැත්ම කරන්නේය.
423. ව්‍යාඝ්‍රයෙනි, එවු, නවතිවු, මේ මහා වනයට නැවත එළෙඹෙවූ ව්‍යාඝ්‍රයන් රහිතවූ වනය නොකපත්වා, ව්‍යාඝ්‍රයෝ වන නැත්තාහු නොවෙත්වා.
2. ව්‍යග්ඝජාතකං.
424. පුරවන ලද බත් පාත්‍රයක් ගත්තෙකු මෙන් කවරෙක්ද? පිරුණාවූ අත් ඇති බ්‍රාහ්මණයෙකු මෙන් කවරෙක්ද? කවර ප්‍රදෙශයෙක්හි පිඬු පිණිස හැසුරුනෙහිද, කවර නම් ශ්‍රද්ධාවන්තයෙකු වෙත පැමිණියේද?
425. මම නුවණ නැත්තාවූ වඳුරෙක්වීමි. ස්පර්ශ නොකළ යුතු තැන් ස්පර්ශ කෙළෙමි. ඔබට යහපතක් වේවා, නුඹ මා මුදනු මැනව. මෙයින් මිදුනේ පර්වතයට යන්නෙමි.
426. ඉදිබුවෝ නම් කාශ්‍යප ගොත්‍ර ඇත්තෝ වෙත්. වඳුරෝ නම් කොණ්ඩඤ්ඤ ගොත්‍රයෙහි වූවෝ වෙත්. කාශ්‍යපය, කොණ්ඩඤ්ඤයා මුදව, කාශ්‍යප ගොත්‍රයෙහි උපන් තා හා සමග නොසමවූ කොණ්ඩඤ්ඤ ගොත්‍රයෙහි උපන් ලොල්වූ මොහු මෛථුන කෘත්‍යයක් කරණ ලදී. එහෙයින් හැරපියවයි කීයේය.
3. කච්ඡපජාතකං.