391. ඉදින් හස්ත තලයද මෙලොක්වූයේ වීනම් හස්තියාද, මනාකොට හික්මවන ලද්දේ වීනම් රාත්‍රියෙහි අන්ධකාරයෙක්ද, වීනම් එකල්හි වසින්නේද වීනම් එසේ ඇති කල්හි ඒකාන්තයෙන් අපගේ අදහස සඵල වන්නේයි.
392. මොළොක්වූ ප්‍රිය වචනයෙන් තමා කෙරෙහි දිගු කලක් වාසය කරවන්නට නොපිළිවන්හ. නොහොත්, කෙතෙක් පුරුෂයෝත් මොවුන්ට පමණ නැත්තාහ. මොළොක්වූ වචන ඇත්තාහ. නොපිරවිය හැක්කාවූ ගංගාවක් හා සමානවූ ඒ ස්ත්‍රීහු තමා වසඟ බවට පැමිණියවුන් අපායෙහි ගිල්වත් මෙසේ දැන ඇය දුරින්ම දුරුකරන්නේය.
393. මේ ස්ත්‍රීහු නම් කැමැත්තෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයක්හු සේවණය කෙරෙද්ද, ස්වකීය ස්ථානය දවන ගින්න මෙන් වහා ඒ සේවණය කළහුම දවත්යයි” කීයේය.
2. මුදුපාණි ජාතකය.
394. ජලය නොසෙල්වෙන කල්හි තෙමේම ඉර්ධියෙන් අවුත් ස්ත්‍රිය හා මිශ්‍ර බවට පැමිණ මහා සාගරයෙහි ගැලෙන්නෙහිය.
395. මේ ස්ත්‍රීහු නම් කාමාවර්තයෙන් ආවර්තනය කරණ හෙයින් ආවර්තනීහ. මහත්වූ මායා ඇත්තාහ. ශ්‍රේෂ්ඨචර්යාවන් විනාශ කිරීමෙන් පුරුෂයන් අපායෙහි ගල්වත්යයි මෙසේ දැන ඇය දුරින්ම දුරු කරන්නේයි.
396. මේ ස්ත්‍රීහු මේ තමන්ගේ කැමැත්තෙන් හෝ වස්තු ලාභය හේතුකොට ගෙන හෝ යමක්හු සේවනය කෙරෙත්ද? ස්වකීය ස්ථානය දවන ගින්න මෙන් වහා ඒ සේවනය කළහු දවත් යයි” කීයේය.
3. චුල්ලපලොභන ජාතකය.
397. යම් රජක්හුගේ ස්වර්ණමයවූ ප්‍රාසාදය සරසින් ෂොඩශ ශර ප්‍රමාණවීද, උසින් සහස්‍ර කාණ්ඩ ප්‍රමාණයයි කීහුද, ඒ රජතෙමේ පණාද නම්වේ.
398. උසින් දහසක් කාණ්ඩ ප්‍රමාණවූ ඒ මාළිගාව සියක් මහල් ඇත්තේ ධ්වජයෙන් ගැවසීගත්තේය. නිල් මැණිකෙන් වටකරණ ලද්දේය. එහි සදහසක් නටන ගී කියන නළුවෝ සප්තප්‍රකාරව නැටුවාහුය.
399. භද්දජී ස්ථවිරයෙනි, යම්සේ කීයෙහිද, ඒ එසේමය. එකල්හි තට වතාවත් කළාවූ මම එකල්හි ශක්‍ර වීමි.”
4. මහාපණාද ජාතකය.
400. දුනු වේගයෙන් හරණ ලද ඊතලද තෙල් සණලා සෝදන ලද සියුම් මුවහත් ඇති ගන්නාලද කඩුද, දැක මරණය ලංව සිටියාවූ ඒ භයෙහි දී තට කුමක් හෙයින් තැති ගැන්මක් නොවීද?
401. දුනු වේගයෙන් හරණ ලද ඊතලද තෙල් සණ ලා ශුද්ධකළ සියුම්වූ මුවහත් ඇති මිටින් ගන්නා ලද කඩුද දැක මරණය පැමිණි කල්හි ඒ භයෙහි බොහෝවූ උතුම්වූම සතුටක් ලදිමි.
402. සතුරන් දැක සතුටුවූ ඒ මම සතුරන් අභිභවනය කෙළෙමි. පළමුව මාගේ ජීවිතය හරණ ලද්දේ විය. එසේ මැයි ජීවිතයෙහි ආලය කරන්නාවූ සූරතෙමේ කිසිකලෙකත් ශූර කෘත්‍යය නොකරන්නේ මයයි.”
5. ඛුරප්ප ජාතකය.
403. යම් කාරණයෙකින් කෘශවූයෙහි පාණ්ඩු වර්ණවූයෙහි වීද, යම් කාරණයෙකින් ආහාර රුචි නොකෙරේද? ඒ තී ප්‍රාර්ථනා කරණ මේ පිය තෙමේ ආයේය. දැන් කුමක් හෙයින් පලායන්නීද?
404. පළමුවෙන්ම සන්ථවය නම් නොම හටගන්නේය. කුමක් හෙයින්ද යත්? ස්ත්‍රීන්ගේ ගර්විතයයි කියන ලද යශස පිරිහෙන්නේය. පුත්‍රය, එහෙයින් මම පලා ගියෙමි.
405. යශස් ඇත්තාවූ ප්‍රශස්ත කුලයෙහි උපන්නාවූ, තමා ලඟට ආ පුරුෂයා යම් ස්ත්‍රියක් නොකැමති වේද? වාතග්ග නම් අශ්වයා නොකැමතිවූ කුණ්ඩලී නම් කොටළු ධෙනුව මෙන් බොහෝ කලක් ශොක කරන්නේයයි” කීයේය.
6. වාතග්ග සින්ධව ජාතකය.
406. දිගඇස් හා නෙත්‍ර ඇත්තාවූ කටුවම සමකොට ඇත්තාවූ ජලයෙහි සයනය කරන්නාවූ රෝම නැති නළ ඇතිහෙයින් ශෘංග මෘගනම් දිග ඇස් ඇති කකුළුවෙකි ඔහු විසින් මඩනා ලද්දේ බැගෑ පත්වූ මම හඬමි තීගේ ප්‍රාණය හා සමවූ මා හැරපියා නොයව.
407. හැට අව්රුද්දෙන් මද බස්නා හෙයින් සට්ඨි හා මූන නම්වූ පොළොව දිරවන හෙයින් කුඤ්ජර නම්වූ ස්වාමිය ව්‍යසනයට පැමිණි ඔබ නොහරින්නෙමි. කුමක් හෙයින්ද යත්? සතර දිග මුහුද හිම් කොට ඇති පොළොවෙහි ඔබ මාගේ ඉතා ප්‍රියතැනැත්තා වෙහිය.
408. සමුද්‍රයෙහිද ගංගානම් ගඟෙහිද යමුනා නම් නදියෙහිද යම් කකුළු කෙනක් ඇද්ද, ඔවුන්ට දියෙහි උපන්නාවූ ඔබ ශ්‍රේෂ්ඨයෙහිය. හඬන්නාවූ මාගේ ස්වාමිවූ ඇත් රජු මුදා පියවයි” කීය.
7. කක්කටක ජාතකය.