364. මේ මාණික්‍ය රත්න හේතුවෙන් මට ආහාරයද පානයද බොහෝ කොට ශ්‍රේෂ්ඨව උපදී. එය තට නොදෙමි. ඉක්මවා යාඥා කෙළේවෙහිය එසේහෙයින් තාගේ ආශ්‍රමයටද නැවත නොඑන්නෙමි.
365. මුවහත් තබනලද කඩුවෙන් යුක්ත අත් ඇති බාල පුරුෂයෙකු මෙන් මැණික්ගල මගෙන් ඉල්වමින් තැති ගැන්වූවෙහිය. තට එය නොදෙමි. අධික කොට යාඥා කෙළෙහිය. එහෙයින් තාගේ ආශ්‍රමයටද නැවත නොඑන්නෙමි.
366. යම් පුද්ගලයෙකුට යම් වස්තුවක් ප්‍රියයයි දන්නේද, ඒ වස්තුව නොඉල්ලන්නේය. කුමක්හෙයින්ද යත්? පමණ නොදැන අධික කොට යාඥා කිරීමෙන් යාචකයා ද්වේෂ කටයුතු වන්නේය. එසේමැයි බමුණා විසින් මැණික ඉල්වනලද මණි කණ්ඨක නම් නාරජ එතැන්පටන් නොදැක්මට ගියේ යයි” කීයේය.
3. මණිකණ්ඨ ජාතකය.
367. අශ්ව වෘෂභාදීන් විසින් කා ඉතිරිවූ තණ අනුභව කොට ඉතිරිවූ කැඳ වතුරද කුඩුද අනුභවකොට වැඩුනෙහි එසේ හෙයින් තට මේ භොජනය විය. කුමක් හෙයින් දැන් එය අනුභව නොකළෙහිද?
368. යම් තැනෙක්හි බොහෝදෙන පුරුෂයා ජාතියෙන්ද ආචාර විනයෙන්ද නොහඳුනත්ද, මහා බමුණ, එතැන්හි හුළුකැන් දියද කුඩුද අනුභව කෙළෙමි.
369. මේ උතුම් අශ්වතෙම යම්බඳුද, එසේවූ මා තෝ වනාහි දන්නෙහි, දන්නාවූ තා කරා දන්නෙක්වූ මම අවුත් තොපගේ කුඩු අනුභව නොකරමියි” කීයේය.
4. කුණ්ඩකකුච්ඡිසින්ධව ජාතකය.
370. යම්තාක් ඒ විහංගම නම්වූ ගිරාතෙම භොජනයෙහි පමණ දැනගත්තේද? ඒතාක් කල් බොහෝ කලක් පැමිණියේය. මෑණියන්ද පොෂ්‍ය කෙළේය.
371. යම් කලෙක්හි වනාහි ඒ ගිරාතෙම අධික කොට ආහාරය අනුභව කෙළේද, හෙතෙම පමණ නොදන්නේ වීද, එකල්හි ඒ සමුද්‍රයෙහිම ගිලුනේය.
372. යම් හෙයකින් ආහාරයෙහි පමණ නොදන්නෝ වනාහි සමුද්‍රයෙහි ගිලෙද්ද, ආහාරයෙහි පමණ දන්නෝ නොගිලෙන්නාහුද, එහෙයින් භොජනයෙහි පමණ දන්නා බවද ගිජු නොවන බවද ප්‍රශස්ත යයි” කීයේය.
5. සුක ජාතකය.
373. මහළු ලිඳක් කනින්නාහු දියෙන් ප්‍රයෝජන ඇත්තාවූ වෙළෙන්දෝ කළු යකඩද, තඹද, සුදු ඊයම්ද, කළු ඊයම්ද, රිදීද, රත්රන්ද, මුතුද, වෛදූර්ය මාණික්‍යයද ලැබූහ.
374. එයින් නොසතුටුවූ ඒ වෙළෙන්දෝ වැඩි වැඩිය සෑරූහ. ඔවුන් එහි තේජස් ඇත්තාවූ දරුණුවූ සර්පයෙක් තමාගේ විෂ තේජසින් පහළේය.