222. කුශල ධර්මයන් කැමතිවූ යුධිට්ඨිල නම් රජතෙම විධුර පණ්ඩිතයාට මෙසේ කීයේය.
යහළුවූ විධුර පණ්ඩිතයාණෙනි, යම් කෙණෙක් මාගේ භෝජනය වළඳන්නාහුද, යමෙකුට දුන් දෙය මහත් ඵල වේද, එබඳුවූ සිල්වත්වූ බහුශ්‍රැතවූ මෛථුන ධර්මයෙන් වැළකුණාවූ බ්‍රාහ්මණයන් සොයව, දක්ෂිණාව දෙන්නෙමුයි කීයේය.
224. දෙවයන් වහන්ස, යම් කෙනෙක් ඔබගේ භොජනය වළඳන්නාහුද, එබඳු සිල්වත්වූ බහුශ්‍රැතවූ මෙවුන් දමින් වැළකුනාවූ බ්‍රාහ්මණයෝ දුර්ලභ වෙත්.
225. මහරජ, යම් මේ බ්‍රාහ්මණ කුලදශයක් වෙද්ද, ඔවුන්ගේ විභාගය සොයනලදී. ඒ විස්තර වශයෙන් මගෙන් අසනු මැනව.
226. මහරජ ඇතැම් බමුණෝ කට අවුරණලද මුදල් පිරුණු පසුම්බි ගෙණ බෙහෙත් ද්‍රව්‍යයන් ගැටගසා දෙත්. බෙහෙත් දියෙන් නෑවීමද කරත්. මන්ත්‍ර ජපයද කරත්.
227. මහරජ, වෙදුන් හා සමානවූ ඔව්හුද බ්‍රාහ්මණයෝ යයි කියනු ලැබෙත්. ඔව්හු මා විසින් වෙද බ්‍රාහ්මණයෝයයි කියන ලදහ. මහරජ, එබඳු බමුණන් වෙත පැමිණ ආරාධනා කරන්නෙමුයි කීයේය.
228. විධුර පණ්ඩිතය, ඔව්හු බ්‍රාහ්මණ බැවින් තොරවූවාහුය. ඔව්හු බ්‍රාහ්මණයෝයයි නොකියනු ලැබෙතියයි කෝරව්‍ය රජතෙම කීයේය.
යහළු විධුර පණ්ඩිතය, යම් කෙනෙක් මාගේ භෝජනය අනුභව කරන්නාහුද, යමෙකුට දුන්දෙය මහත් ඵලවේද. එබඳුවූ මෛථුන ධර්ම සෙවනයෙන් වැළකුණාවූ බහුශ්‍රැතවූ සිල්වත්වූ අන්‍ය බ්‍රාහ්මණයන් සොයව, දක්ෂිණාව දෙන්නෙමුයි කීයේය.
230. ඒ ඇතැම් බමුණෝ කුළුතාලම් ගෙණ රජ ඇමති ආදීන් ඉදිරියෙහි වාදනයද කරත්. පණිවිඩවල යෙදෙත්. රථ ශිල්පයන්හිද හික්මවත්.
231. මහරජ, මෙහෙකරුවන් හා සමානවූ ඔව්හුද බ්‍රාහ්මණයෝයයි කියනු ලැබෙත්, මහරජ, ඔව්හු මා විසින් පරිචාරක බ්‍රාහ්මණයෝයයි කියන ලදහ, එබඳු බ්‍රාහ්මණයන් වෙත පැමිණ ආරාධනා කරම්හයි කීයේය.
232. ඔව්හු බ්‍රාහ්මණ භාවයෙන් තොරවූවාහුය. ඔහු බ්‍රාහ්මණයෝයයි නොකියනු ලැබෙත්. මෙසේ කෝරව්‍ය රජතෙම කීයේය.
233. “යහළු විධුර පණ්ඩිතය, යම් කෙනෙක් මාගේ භෝජනය වළඳන්නාහුද, යමෙකුට දුන් දෙය මහත්ඵල වේද, එබඳු අන්‍යවූ සිල්වත්වූ බහුශ්‍රැතවූ මෙවුන්දම් සෙවීමෙන් වැළකුණාවූ බමුණන් සොයව. දක්ෂිණාව දෙන්නෙමූයි කීයේය.
234. “මහරජ, ඇතැම් බමුණෝ කමඬලාවක්ද වක් දණ්ඩක්ද ගෙණ ගම්වලද, නියම්ගම්වලද රජුන් වෙත එළඹෙන්නාහුය. ගමෙහිද වෙණෙහිද නුදුන් කල්හි නොනැගිටින්නෙමුයි ඉඳගන්නාහුය.
235. “මහරජ, නිග්‍රහකොට ගන්නවුන් සමානවූ ඔව්හුද බ්‍රාහ්මණයෝයයි කියනු ලැබෙත්. මහරජ, ඔව්හුද මා විසින් කියන ලදහ. එබඳු බමුණන් වෙත එළඹ ආරාධනා කරමුයි කීයේය.
236. “යහළු විධුර පණ්ඩිතය, ඔව්හු බ්‍රාහ්මණ භාවයෙන් තොරවූවාහුය. ඔව්හු බ්‍රාහ්මණයෝයයි නොකියනු ලැබෙතියි කෝරව්‍ය රජතෙම කීයේය.
237. “යම්කෙනෙක් මාගේ භෝජනය වළඳන්නාහුද, යමෙකුට දුන් දෙය මහත්ඵල වේද, එබඳු අන්‍යවූ සිල්වත්වූ බහුශ්‍රැතවූ මෙවුන්දමින් වැළකුණාවූ බමුණන් සොයව. දක්ෂිණාව දෙන්නෙමු.
238. “ඉතා වැඩුනු කිසිලි ලොම් හා නිය ඇති මැලියම් සහිත දත් ඇති රජසින් ගැවසීගත් හිස් ඇති රජස් ධූලිවලින් ගැවසීගත්තාවූ ඒ සමහර බමුණෝ ඉල්වමින් හැසිරෙත්.
239. “මහරජ, දාගිය කනු හා සමානවූ ඔව්හුද, බ්‍රාහ්මණයෝයයි කියනු ලැබෙත්. මහරජ ඔව්හු යාචක බ්‍රාහ්මණයෝ යයි කියන ලදහ. එබඳුවූවන් වෙත එළඹ ආරාධනා කරමුයි කීයේය.
240. “ඒ බමුණෝ බ්‍රාහ්මණ භාවයෙන් තොරවූවාහුය. ඔව්හු බ්‍රාහ්මණයෝයයි නොකියනු ලැබෙත්යයි කෝරව්‍ය රජතෙම මෙසේ කීයේය.
241. “යහළු විධුරය, යම්කෙනෙක් මාගේ භෝජනය වළඳන්නාහුද, යමෙකුට දුන් දෙය මහත් ඵල වේද, එබඳු අන්‍යවූ සිල්වත්වූ බොහෝ ඇසූපිරූ තැන් ඇති මෙවුන්දමින් වැළකුණාවූ බමුණන් සොයව. දක්ෂිණාව දෙන්නෙමුයි කීයේය.”
242. “මහරජ, සමහරු අරළුද නෙල්ලිද අඹද දඹද බුළුද දෙල්ද දැහැටි දඬුද බෙලිද ඩෙබරද,
ඇසළද උක්ද පැනි මුල්ද දුම්කෝවද මීද අඳුන්ද යන කුඩා මහත් විකිණියහැකි ද්‍රව්‍ය විකුණා ජීවත් වෙත්.
244. “මහරජ, වෙළඳුන් හා සමානවූ ඔව්හුද බ්‍රාහ්මණයෝයයි කියනු ලැබෙත්. මහරජ ඔව්හු වෙළඳ බ්‍රාහ්මණයෝ යයි කියන ලදහ. එබන්දන් වෙත පැමිණ ආරාධනා කරම්හයි කීයේය.
245. “ඔව්හු බ්‍රාහ්මණ භාවයෙන් තොරවූවාහුය. ඔව්හු බ්‍රාහ්මණයෝයයි නොකියනු ලැබෙත්යයි කෝරව්‍ය රජතෙම මෙසේ කීයේය.