1377. යමෙක් කෝප කළයුතු තැන කෝප නොකරයිද, සත්පුරුෂයා කිසිකලෙක නොකිපේද, කිපුනේ නමුදු යමෙක් කෝපය පහළ නොකරයිද, ලෝකයෙහි ඒ නරයා ශ්රමණ යයි කියත්.
1378. ඌනෝදර වූයේ යමෙක් සාගින්න උසුලාද, දැමුනේ, තපස් ඇත්තේ, පමණ දැන කන්නේ බොන්නේ වේද, ආහාරය හේතුවෙන් පාපයක් නොකරයිද, ලෝකයෙහි ඒ නරයා ශ්රමණ යයි කියත්.
1379. කෙළිද ඇලීමද යන සියල්ල හැරපියා ලෝකයෙහි කිසි බොරුවක් නොකියයිද, විභූෂණ ස්ථානයෙන් වෙන්වූයේද, මෛථුනයෙන් වෙන්වූයේද, ලෝකයෙහි ඒ නරයා ශ්රමණ යයි කියත්.
1380. තණ්හාවෙන් ගැනීමද සියලු ලෝභ ධර්මයන්ද යමෙක් දැන දුරුකරයිද, දැමුනේ, ස්ථිර සිත් ඇත්තේ, මමත්වයක් නැත්තේ, ආශා නැත්තේ, ලෝකයෙහි ඒ නරයා ශ්රමණ යයි කියත්.
1381. උතුම් ප්රඥා ඇති කර්තෘන් (ඔබගෙන්) අසමු. ගාථාවන්හි අපට විවාදයක් හටගත්තේ ඇත. අද සැකය හා විචිකිච්ඡාවන් සිඳුව මැනව. ඔබ නිසා අද අපි සියල්ලෝ සැකය තරණය කරමු.
1382. යම් පණ්ඩිත කෙනෙක් අර්ථදර්ශී වෙත්ද, ඔව්හු සුදුසු කල්හි නුවණින් යුතුව එහි බණත්. ජනේන්ද්රය, නොකියන ලද ගාථාවන්ගේ අර්ථය කුසලයන් කෙසේ නම් නියම කරද්ද?
1383. නාගරාජයා කෙසේ නම් කියයිද? වෛනතෙය්ය ගුරුළු තෙම කෙසේ නම් කියයිද? ගන්ධර්වරාජයා කිමෙක් කියයිද? කුරුරට රජතුමා කෙසේ නම් කියයිද?
1384. නාගරාජයා ක්ෂාන්තිය කියයි. වෛනතෙය්ය ගුරුළු තෙම අල්පාහාරය (කියයි). ගන්ධර්වරාජයා රතිය දුරුකිරීම (කියයි). කුරුරට රජතුමා අකිඤ්චනභාවය (කියයි).
1385. මේ සියල්ල සුභාෂිතයෝය. මෙහි කිසි දුර්භාෂිතයක් නැත. යම් පුරුෂයෙක් කෙරෙහි මේවා පිහිටියාහුද, රථ රෝදයක අර මෙන් මනාව පිහිටියාහුද, මේ සතර ධර්මයෙන් යුක්තවූ ඒ නරයා ලෝකයෙහි ශ්රමණ යයි කියත්.
1386. ඔබ ශ්රේෂ්ඨය. ඔබ අනුත්තරය. ඔබ ධර්මගෝප්තෘය. ධර්මවිද්ය. සුමේධය. ප්රඥාවෙන් ප්රශ්නය ගෙන ධීරවූයේ විචිකිච්ඡාවන් සිඳ දැමූහ. චුන්ද කර්මාන්තකරුවා දළ කැපූ යම්සේද, එසේම සැකය හා විචිකිච්ඡාවන් සිඳ දැමූහ.
1387. මහනෙල් මල් බඳු පැහැ ඇති නිර්මලවූ අනර්ඝවූ ධූමසමාන වර්ණ ඇති මේ වස්ත්රය, ප්රශ්නයාගේ විසඳීමෙන් සතුටුවූ මම ධර්මපූජා වශයෙන් ධීරයාණෙනි, ඔබට දෙමි.
1388. සියයක් රේණු ඇති කෙසරුන් සහිතවූ දහසක් රුවන් ඔබ්බන ලද රන් මාලය, ප්රශ්නයාගේ විසඳීමෙන් සතුටුවූ මම ධර්මපූජා වශයෙන් ධීරයාණෙනි, ඔබට දෙමි.
1389. මාගේ ගෙල පැළඳි මැණික් ඔබ්බන ලද අනර්ඝවූ රුසිරුවූ බබලන මැණික, ප්රශ්නයාගේ විසඳීමෙන් සතුටුවූ මම ධර්මපූජා වශයෙන් ධීරයාණෙනි, ඔබට දෙමි.
1390. දෙනුන් දහසක්ද, වෘෂභයෙක්ද, ඇතෙක්ද, ආජානීය අශ්වයන් යෙදූ මේ රථ දහයක්ද, ප්රශ්නයාගේ විසඳීමෙන් සතුටුවූ මම ගම්වර සොළසක්ද ඔබට දෙමි.
3. චතුපොසථිකජාතකං.
1391. සංඛ නම් බ්රාහ්මණය, නුඹ වනාහි බහුශ්රැතවූයේ අසනලද ධර්ම ඇත්තේවෙහිය. ඔබ විසින් මහණ බමුණෝද, දක්නාලදහ. එසේ ඇතිකල්හි නුසුදුසු කාලයෙහි වැළපීම දක්වන්නෙහිය. මා හැර ප්රතිවචන දෙන්නාවූ අනික් කවරෙක්වේද,
1392. මනා බැම ඇති. සිත් කළුවූ මනාකොට බහා ලන ලද ස්වර්ණාභරණ ඇති ස්ත්රියක් ස්වර්ණමයවූ තලියක් දෙඅතින් ගෙන සතුටු සිත් ඇත්තී බත් අනුභව කරවයි. මෙසේ මට කියයි. ඈට මම නොකැමැත්තෙමියි කියමි.