72. “කළගුණ නොදන්නාවූ නිරන්තරයෙන් අනුන්ගේ සිදුරු සොයන්නාවූ පුරුෂයාහට ඉදින් සියලු පොළොව දුන්නේ වී නමුත් ඔහු සතුටු කළ නොහැක්කේයයි” කීයේය.
2. සීලව නාගරාජ ජාතකය.
73. “ගඟ දියෙහි යන්නාවූ දරදඬු නඟා ගොඩ තබන ලද්දේ උතුම් වේ. කළගුණ නොදන්නා සමහර පුරුෂයෙක් උතුම් නොවේ මැයි මේ ලෝකයෙහි සමහර පණ්ඩිත මනුෂ්‍යයෝ සැබවක්ම කීවේලුයි” කීයේය.
3. සච්චංකිර ජාතකය.
74. “බොහෝවූ එක්වසිටි නෑයෝ යහපත්හ. වනයෙහි හටගත්තාවූ වෘක්ෂයෝද, ඝනව සිටි හෙයින් ශොභනයහ. තනිව සිටියාවූ මහත්වූද වන දෙටු රුක වාතයතෙමේ උදුරා දමායයි” කීයේය.
4. රුක්ඛධම්ම ජාතකය.
75. “මේඝය ගර්ජනා කරව. කවුඩු සමූහයාගේ මත්ස්‍ය නිධානය නසව. කපුටු සමූහයා ශෝකය පිණිස රඳවව, මාද ශෝකයෙන් මුදවවයි” කීයේය.
5. මච්ඡ ජාතකය.
76. “ගමෙහිද, සැකනැත්තේ වෙමි. අරණ්‍යයෙහිද මට කිසි භයක් නැත්තේය. මෛත්‍රියෙන්ද කරුණාවෙන්ද සෘජුවූ බ්රහ්මලොකගාමී මාර්ගයට ආරූඪ වූයෙමි. නොහොත් සිල්වත්බව හේතුකොටගෙණ කාම ද්වාරාදියෙන් අකුටිල හෙයින් ඍජුවූ දිව්‍යලෝක ගාමී මාර්ගයට නැංගේ වෙමියි” කීයේය.
6. අසංකිය ජාතකය.
77. වෘෂභයෝ ය, වෘක්ෂයෝ ය, දෙනුන් ය, ගවයෝ ය, අශ්වයා ය, ලෝහ තලිය ය, සිවලී ය, කළය ය, පොකුණ ය, නොපැසූ සඳුන් ය (යන මොහු ද),
“ලබු කබල් ගැලෙති පාෂාණයෝ ඉල්පෙති. මැඩි පැටියෝ කෘෂ්ණ සර්පයන් ගිලිති. කවුඩෙකු ස්වර්ණහංසයෝ පිරිවරති. එළුවන්ට භයින් වෘකයෝ තැතිගනිති. විපර්යාසයෙක් පවතී. මේ කාලයෙහි මේ ස්වප්නයන්ගේ නිෂ්පත්ති නැත්තේය”යි කීයේය.
7. මහා සුපින ජාතකය.
78. “දෙදෙනම ලුහුඬු පා ඇත්තාහ. දෙදෙනම කුණ්ඨවූ අත් ඇත්තාහ. (දණින් වැලමිටෙන් පාත ලුහුඬු පුරුක් ඇත්තාහ.) දෙදෙනම විසමවූ ඇස් ඇත්තාහ. හෙවත් වපරයහ. දෙදෙනාගේම හිසෙහි පිළිකාවෝ හටගත්හ. මම ඉල්ලීසයා නොදකිමියි” කීයේය.
8. ඉල්ලීස ජාතකය.
79. “යම් කලෙක්හි ගවයෝ පැහැරගෙණ යන ලද්දාහුද, නසන ලද්දාහුද, ගෘහයෝ දවන ලද්දාහුද ජනතෙමේද තිර කොට බැඳගෙණ යන ලදද එකල්හි නැසුනු පුත්‍රයන් ඇත්තියගේ පුත්‍රතෙමේ අමධුරවූ ශබ්ද ඇති පටහ බෙරය වාදනය කරමින් ආයේයයි” කීයේය.
9. ඛරස්සර ජාතකය.
80. “භීමසේනය, තා විසින් යමක් කියන ලදද නැවත පසුව තාගේ කුණුව වැහෙන හෙයින් පූතිසර නම් වූ ශරීර මළ ධාරාවෝ වෑහෙත්. තාගේ යුද්ධ කථාවද මේ පීඩාවද යන දෙක සම නොවේයයි” කීයේය.
10. භීමසේන ජාතකය.
අටවැනි වරණ වර්ගයයි.
එහි උද්දානය:
වරණ, සීලවනාග, සච්චංකිර, රුක්ඛධම්ම, මච්ඡ, අසංකිය, මහාසුපින, ඉල්ලීස, ඛරස්සර, භීමසේන යන දසයයි.