66. “මුදු ලක්ඛණාව නොලදින් පෙර එක් තෘෂ්ණාවක් විය. විශාල නෙත්ර ඇත්තී යම් තැනක පටන් ලබන ලද්දීද. ඒ තෘෂ්ණාතොමෝ ගෘහොපකරණාදියෙහි අනෙක් තෘෂ්ණාවක් ඉපදවීයයි” කීයේය.
6. මුදු ලක්ඛණ ජාතකය.
67. “දෙවයන් වහන්ස, පුත්ර තෙමේ මාගේ ඇකයෙහිමය. ස්වාමිතෙමේ හුදකලාව මඟ යන්නාවූ මට සුලභය. යම් දෙශයකින් සහෝදරයකු ගෙණ එම්ද, ඒ මාතෘකුක්ෂි නම් දෙශය නොදක්නෙමි”යි (එහෙයින් මාගේ සහෝදරයා දෙවයි ඉල්වූ.)
7. උච්ඡංග ජාතකය.
68. “යම් පුද්ගලයෙකු කෙරෙහි සිත පිහිටාද, සිතත් දුටු පමණෙකින් පහදීද, නුදුටු විරූදවූ ඒ පුරුෂයා කෙරෙහි එකාන්තයෙන් විශ්වාස කරන්නේයයි” කීයේය.
8. සාකෙත ජාතකය.
69. “යම් විෂයක් හරණ ලදද ඒ වමනය කළ විෂය මම ජීවිත හේතුවෙන් නැවත හැරගනිම්ද, එයට නින්දා වේවා, මාගේ ජීවත් වීමට වඩා (විෂය උරා නොගෙන ගින්නට වැද) මිය යෑමම උතුම්යයි” කීයේය.
9. විෂවන්ත ජාතකය.
70. “යම් රටක් දිනන ලද්දේ නැවත සතුරන් විසින් පරදවනු ලැබේද, නොහොත් සතුරන් මැඩ ලැබූ යම් ජයක් නැවත සතුරන් විසින් පරදවනු ලැබේද, ඒ දිනුම මනාකොට දිනන ලද්දක් නොවේ. යමක් සතුරන් මැඩ දිනන ලදද නොහොත්, යම් ජයක් සතුරන් විසින් නොපරදවනු ලැබේද, ඒ දිනීම වනාහි යහපත් කොට දිනුවා නම් වේයයි” කීයේය.
10. කුද්දාල ජාතකය.
සත්වන ඉත්ථි වර්ගයයි.
එහි උද්දානය:
අසාතමන්ත, අන්ධභූත, තක්ක, දුරාජාන, අනභිරති, මුදුලක්ඛණ, උච්ඡංග, සාකේත, විසවන්ත, කුද්දාල යන දසයයි.
8. වරණ වර්ගය
71. “යමෙක් තෙමේ පළමු කටයුතුදෑ පසුව කරන්නට කැමැතිවේද, හෙතෙමේ ළුණු වරණ දඬු බිඳි ශිෂ්යයා මෙනි. එබඳු පුද්ගලතෙමේ පසුව තැවේ යයි” කීයේය.
1. වරණ ජාතකය.
72. “කළගුණ නොදන්නාවූ නිරන්තරයෙන් අනුන්ගේ සිදුරු සොයන්නාවූ පුරුෂයාහට ඉදින් සියලු පොළොව දුන්නේ වී නමුත් ඔහු සතුටු කළ නොහැක්කේයයි” කීයේය.
2. සීලව නාගරාජ ජාතකය.
73. “ගඟ දියෙහි යන්නාවූ දරදඬු නඟා ගොඩ තබන ලද්දේ උතුම් වේ. කළගුණ නොදන්නා සමහර පුරුෂයෙක් උතුම් නොවේ මැයි මේ ලෝකයෙහි සමහර පණ්ඩිත මනුෂ්යයෝ සැබවක්ම කීවේලුයි” කීයේය.
3. සච්චංකිර ජාතකය.
74. “බොහෝවූ එක්වසිටි නෑයෝ යහපත්හ. වනයෙහි හටගත්තාවූ වෘක්ෂයෝද, ඝනව සිටි හෙයින් ශොභනයහ. තනිව සිටියාවූ මහත්වූද වන දෙටු රුක වාතයතෙමේ උදුරා දමායයි” කීයේය.
4. රුක්ඛධම්ම ජාතකය.
75. “මේඝය ගර්ජනා කරව. කවුඩු සමූහයාගේ මත්ස්ය නිධානය නසව. කපුටු සමූහයා ශෝකය පිණිස රඳවව, මාද ශෝකයෙන් මුදවවයි” කීයේය.
5. මච්ඡ ජාතකය.
76. “ගමෙහිද, සැකනැත්තේ වෙමි. අරණ්යයෙහිද මට කිසි භයක් නැත්තේය. මෛත්රියෙන්ද කරුණාවෙන්ද සෘජුවූ බ්රහ්මලොකගාමී මාර්ගයට ආරූඪ වූයෙමි. නොහොත් සිල්වත්බව හේතුකොටගෙණ කාම ද්වාරාදියෙන් අකුටිල හෙයින් ඍජුවූ දිව්යලෝක ගාමී මාර්ගයට නැංගේ වෙමියි” කීයේය.
6. අසංකිය ජාතකය.