57. “වානරේන්ද්‍රය, සත්‍ය වචනයද පරීක්ෂණ බුද්ධියද නැතිනොවන ධෛර්‍ය්‍යද ත්‍යාගයද යන මේ ධර්මයෝ සතරදෙන තොපට මෙන් යමෙකුට විද්‍යමාන වෙද්ද හෙතෙම පසමිතුරා ඉක්මවා පවතීයයි” කීයේය.
7. වානරින්ද ජාතකය.
58. “වඳුරු රජ උතුම් වීර්යයයි කියනලද දක්ෂභාවයද, ශූරභාවයද, උපාය, ප්‍රඥාවද යන මේ ධර්මයෝ තිදෙන තොපට මෙන් යමෙකුට ඇත්තාහුද, හෙතෙම සතුරා ඉක්ම පවතීයයි” කීයේය.
8. තයොධම්ම ජාතකය.
59. “බෙර ගසන්නේය කල් ඉක්මවා වැඩියක් නොගසන්නේය. කුමක්හෙයින්දයත්, එසේ ඉක්මවා බෙර ගැසීම වනාහි ලාමකය. බෙර ගසන්නහු විසින් කහවණු සියයක් ලබනලදී. එය කල් ඉක්මවා බෙරගසන්නහු විසින් නසනලද්දේයයි” කීයේය.
9. භෙරිවාද ජාතකය.
60. “සක් පිඹින්නේය. කල් ඉක්මවා වැඩියක් නොපිඹින්නේය. අධිකකොට පිඹීම වනාහි ලාමකය. කුමක්හෙයින්දයත්, සක් පිඹින්නහු විසින් සම්පත් ලබනලදහ. ඒ සම්පත් නැවත නැවත සක් පිඹින්නාවූ පියතෙම විනාශ කෙළේයයි” කීයේය.
10. සංඛධමන ජාතකය.
සවන ආසිංස වර්ගයයි.
එහි උද්දානය:
මහාසීලව, චූළජනක, පුණ්ණපාති, ඵල (කිංඵල), පඤ්චාවුධ, කඤ්චනක්ඛන්ධ, වානරින්ද, තයෝධම්ම, භේරිවාද, සංඛධමන යන දසයයි.
7. ඉත්ථි වර්ගය
61. “ලෝකයෙහි ස්ත්‍රීහු නම් ලාමකයහ. (නොහොත්) සාතයයි කියනලද සැපය මොවුන් කෙරෙහි නැත්දැයි අසාත නම් වෙත්. ඒ ස්ත්‍රීන්ගේ ක්ලේෂොත්පත්ති නිවාරණයට සීමාවක් නැත. ඔව්හු විශේෂයෙන් ඇළුනාහුද, හික්මීමක් නැත්තාහුද හොඳ, නරක සියල්ල අනුභවකරණ ගිනි වැන්නාහ. ඔවුන් හැර විවේකය වඩන්නෙම පැවිදි වන්නෙමියි” කීයේය.
1. අසාතමන්ත ජාතකය.
62. “බමුණුතෙම යම් කාරණයකින් ඝන වස්ත්‍රයකින් මුහුණ සමග වෙළනලද්දේ වීණාව වාදනය කෙළේද, ඒ බැමිණිය බිජ භූත (හෙවත්) මව්කුසින් නොනික්මී කල්හිම ගෙණාවාවූ (නොහොත්) මව්කුසෙහිදීම රක්ෂාකළාවූ භාර්යාව වේ. එබඳු භාර්යාවන් කෙරෙහි කවරෙක් ඒකාන්තයෙන් විශ්වාස කරන්නේද?” (නොකරන්නේය යනු භාවයි.)
2. අණ්ඩභූත ජාතකය.
63. “ස්ත්‍රීහු නම් ක්‍රොධ ඇත්තාහ. කළ ගුණ නොදන්නාහුද වෙති. කේලාම් කියන්නහුද වෙති. ඔවුනොවුන් භෙද කරන්නාහුද වෙති. මහණ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙව ඒ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන තෝ ධ්‍යානාදී සුවය නොහරින්නෙහි යයි’ වදාළේය.
3. තක්ක ජාතකය.
64. “මේ ස්ත්‍රී මා කැමැත්තීයයි සතුටු නොවෙව. මා නොකැමැත්තීයයි ශොක නොකරව ස්ත්‍රීන්ගේ භාවය හෙවත් අදහස නොදත හැක්කේය. කුමක් මෙන්ද? දියෙහි මත්ස්‍යයාගේ ගමන මෙනැයි” කීයේය.
4. දුරාජාන ජාතකය.
65. “ගංගාවද මාර්ගයද සුරාපාන ශාලාවද සභා ශාලාවද පැන් මඩුවද යන මොහු යම් සේ (සියල්ලන්ට සාධාරණ වෙද්ද) ලෝකයෙහි ස්ත්‍රීහුද එසේමැයි එහෙයින් පණ්ඩිත ජනයෝ මේ ස්ත්‍රීන්ට නොකිපෙත්ය”යි කීයේය.
5. අනභිරති ජාතකය.