54. “මේ වෘක්ෂය තෙමේ නැගීමට දුෂ්කර නොවේ. ගමින් දුරුවූයේද නොවේ. මේ ගස යහපත් ගෙඩි ඇත්තේ නොවෙයි කියා මේ ආකාරයෙන් දනිමියි” කීයේය.
4. ඵල ජාතකය.
55. “යොගක්ෂෙම නම්වූ නිර්වාණ සම්පත්තියට පැමිණීම පිණිස උදාරවූ අදස් ඇති යම් මනුෂ්‍යයෙක් නොපසුබස්නාවූ සිතින් කුශල ධර්මයන් වඩාද, හෙතෙමේ පිළිවෙලින් සියලු සංයෝජනයන්ගේ ක්ෂයවීම ඇත්තාවූ අර්හත් ඵලයට පැමිණෙන්නේයයි” කීයේය.
5. පඤ්චායුධ ජාතකය.
56. “යොගක්ෂෙම නම්වූ නිර්වාණයට පැමිණෙනු පිණිස දුරුකළාවූ නීවරණයන් ඇති සිතින් එසේම පහවූ නීවරණයන් ඇති හෙයින් නිර්මලවූ සිත් ඇති යම් මනුෂ්‍යයෙක් නිරාමිසාර්ථයෙන් කුසල නම්වූ බොධිපාක්ෂික ධර්මය වඩාද, හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ නැසීමට පිළිවෙලින් පැමිණෙන්නේයයි” කීයේය.
6. කඤ්චනක්ඛන්ධ ජාතකය.
57. “වානරේන්ද්‍රය, සත්‍ය වචනයද පරීක්ෂණ බුද්ධියද නැතිනොවන ධෛර්‍ය්‍යද ත්‍යාගයද යන මේ ධර්මයෝ සතරදෙන තොපට මෙන් යමෙකුට විද්‍යමාන වෙද්ද හෙතෙම පසමිතුරා ඉක්මවා පවතීයයි” කීයේය.
7. වානරින්ද ජාතකය.
58. “වඳුරු රජ උතුම් වීර්යයයි කියනලද දක්ෂභාවයද, ශූරභාවයද, උපාය, ප්‍රඥාවද යන මේ ධර්මයෝ තිදෙන තොපට මෙන් යමෙකුට ඇත්තාහුද, හෙතෙම සතුරා ඉක්ම පවතීයයි” කීයේය.
8. තයොධම්ම ජාතකය.
59. “බෙර ගසන්නේය කල් ඉක්මවා වැඩියක් නොගසන්නේය. කුමක්හෙයින්දයත්, එසේ ඉක්මවා බෙර ගැසීම වනාහි ලාමකය. බෙර ගසන්නහු විසින් කහවණු සියයක් ලබනලදී. එය කල් ඉක්මවා බෙරගසන්නහු විසින් නසනලද්දේයයි” කීයේය.
9. භෙරිවාද ජාතකය.
60. “සක් පිඹින්නේය. කල් ඉක්මවා වැඩියක් නොපිඹින්නේය. අධිකකොට පිඹීම වනාහි ලාමකය. කුමක්හෙයින්දයත්, සක් පිඹින්නහු විසින් සම්පත් ලබනලදහ. ඒ සම්පත් නැවත නැවත සක් පිඹින්නාවූ පියතෙම විනාශ කෙළේයයි” කීයේය.
10. සංඛධමන ජාතකය.
සවන ආසිංස වර්ගයයි.
එහි උද්දානය:
මහාසීලව, චූළජනක, පුණ්ණපාති, ඵල (කිංඵල), පඤ්චාවුධ, කඤ්චනක්ඛන්ධ, වානරින්ද, තයෝධම්ම, භේරිවාද, සංඛධමන යන දසයයි.