33. “වටු පක්ෂීහු සමගියෙන් සතුටුවූවාහු දැල නඟාගෙණ යෙති. ඒ පක්ෂීහු යම්කලෙක විරුද්ධ වාද කරන්නාහු වෙද්ද? එකල්හි මාගේ වසඟයට එන්නාහුයයි” කීයේය.
33. සම්මොද මාන ජාතකය
34. “මට ශීතය පීඩා නොකරයි, මට උෂ්ණය පීඩා නොකරයි, මා දැළෙහි බැඳීමද පීඩාවක් නොකරයි. යළි පීඩා නම් කිමද යත්? යම්බඳුවූ මා නොදක්නාවූ මත්ස්‍ය ධෙනු තොමෝ ඒ මාගේ ස්වාමියා අන් මත්ස්‍ය ධෙනුවක ළඟට කාමාශාවෙන් ගියේයයි සිතාද?” (හේ මේ සියලු දුකට වඩා මට පීඩා කෙරෙහි යනු අභිප්‍රායයි.)
34. මච්ඡ ජාතකය
35. “මාගේ පියාපත් ඇත්තාහ. අහසින් යන්ට නොහැක්කාහ, පාදයෝ ඇත්තාහ, පියවර නඟා යන්ට නොහැක්කාහ, මාගේ මව්පියෝද මාහැර ගියහ. ජාත වේදය (හෙවත්) මේ ගින්න පහව යවයි” කීයේය.
35. වට්ටක ජාතකය
36. “යම් වෘක්ෂයක් පක්ෂීහු ඇසුරු කළාහුද, ඒ මේ වෘක්ෂයතෙම ගිනි හරනේය. වක්වූ අවයව ඇති හෙයින් වක්කංග නම් වූ පක්ෂීණි, දිශාවන් භජනය කරව්. පිහිට ඇති තැනින් භය උපන්නේයයි’ කීයේය.
36. සකුණ ජාතකය
37. “වැඩිහිටියන් පිදීමෙහි දක්ෂවූ යමෙක් තුමූ ගුණයෙන් වයසින් වැඩීහිටියන්ට පූජාකෙරෙද්ද ඔව්හු මේ ආත්මභාවයේ හිම පැසසිය යුත්තාහ.පරලෙව්හිද සුගතිය වන්නේයයි” කීයේය.
37. තිත්තිර ජාතකය
38. “කපටි නුවණැත්තේ තමාගේම කපටිකමින් ඒකාන්තයෙන් සුවය නොවඩන්නේය. (හෙවත්) කිසි සුවයෙක්හි නොපිහිටයි. කෛරාටික නුවණින් යුත් පුරුෂතෙම තමාට භය පමුණුවන්නේය. කෙසේදයත්? කකුළුවා කෙරෙන් ගෙළ සිඳුම්ලත් කොකා මෙනැයි” කීයේය.
38. බකජාතකය
39. “කුලජාත දාසියගේ පුත්වූ නන්දක නම්වූ දාසතෙම යම් තැනෙක්හි සිටියේ මහත්වූ පරුෂ වචන කියා බෙණේද? ස්වර්ණ රජත ආදී රත්න සමූහයද ස්වර්ණ මාලාද මෙතැන්හියයි හඟිමියි” කීයේය.
39. නන්ද ජාතකය
40. “උඩුකුරුවූ පා ඇත්තෙම් යටිකුරුවූ හිස් ඇත්තෙම් ඒකාන්තයෙන් නරකයෙහි (හෙවත්) මේ අඟුරු වළෙහි පතිතවෙමි. එතකුදු වුවත් ආර්යයන් විසින් නොකරණ ලද නොදීම නොකරන්නෙමි. එබැවින් මේ පිණ්ඩය (හෙවත්) බත පිළිගනු මැනවැයි” කීයේය.
40. ඛදිරංගාර ජාතකය
කුලාවක වර්ගය සිව්වැනියි.
එහි උද්දානය:
කුලාවක, නච්ච, සම්මොදමාන, මච්ඡ, වට්ටක, සකුණ, තිත්තිර, බක, නන්ද, ඛදිරංගාර යන ජාතක දසයයි.