131. “යම්කිසි හීනවූද, උත්තම වූද, වස්තුවක්හුගේ නොගැන්මෙන් අඥානයාගේ මිත්රයෝ කිළුටුවූවාහු වෙත්, (හෙවත්) බිඳෙත්. එහෙයින් මිත්රයා විසින් දෙනලද බොල් කුරුණි සතර ගණිමියි, මාගේ මිත්රභාවය පිරිහීමට නොයේවා. මේ මිත්රත්වය කලක් නොපවතීවායි” කීයේය.
1. අසම්පදාන ජාතකය
132. “දක්ෂවූ පසේබුදුවරයන්ගේ අවවාදයෙහි දැඩිවූ ධෛර්ය්යයෙන්ද, සිත් තැතිගැණීමද, ශරීරය කම්පාකරණ මහත් භය ඇති බවද, හේතුකොට ගෙණ නොනැවතිහෙයින්ද, යකින්නන්ගේ වශඟබවට නොපැමිණියෙමු. මට මහත්වූ භයින් ඒ සෙත්බව වූයේය.”
2. පඤ්චගරු ජාතකය
133. “යම් තැනෙක්හි නිර්භයද, එතන්හී සතුරා නැගීසිටියේය. ජලය මැද ඝතාසන නම්වූ ගින්න දිළිහේ. පොළොවෙහිවූ ගසෙහි අද අපට වාසයෙක් නැත. නොයෙක් දිශාවන් සේවනය කරව්. අද අපට පිහිටවූ තැනින් භය උපන්නේයයි” කීයේය.
3. ඝතාසන ජාතකය
134. “යම් සචිත්තක සත්වකෙනෙක් ඇද්ද ඔවුහූද දුගීහ. අසංඥ භවයෙහි උපන්නාවූ යම් අචිත්තක සත්ව කෙනෙක් ඇද්ද ඔවුහුද (නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය නොලැබීමෙන්) දුර්ගතයහ. මේ (සංඥී භාවයද, අසංඥී භාවයද යන) දෙක දුරු කරව. ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති සැපය නිර්දෝෂ වේයයි” කීයේය.
4. ඣානසොධන ජාතකය
135. “චන්ද්රයා වැනිවූ ඔදාත කසිනයද, සූර්යයා වැනිවූ පීත කසීනයද යමෙක් මෙහිලා නුවණින් අරමුණු කොට ඇතුළුවේද, හෙවත් එහි පිහිටාද, නොහොත් චන්ද්රප්රභාව යම් තැනෙක පතලේද සූර්යප්රභාවයම තැනෙක පතලේද ඒ තන්හි ප්රතිභාග කසිනය වඩා ඒ අරමුණු කොට ධ්යානය උපදවන්නේය. මෙසේ දෙවැදෑරුම් ආලෝකය ප්රඥාවෙන් වඩාද, මෙසේ වැඩූ විතර්ක රහිතවූ ද්විතීය ධ්යානයෙන් ආභශ්වර බ්රහ්ම ලෝකයට පැමිණියේ වේයයි” කීයේය.”
5. චන්දාභ ජාතකය
136. “යමක් ලබන ලදද එයින් සතුටු විය යුතුයි. අධිකවූ ලෝභය වනාහි ලාමකවේ. හංසරාජයා ගෙණ ස්වර්ණයෙන් පිරිහුණේයයි කීයේය.
6. සුවණ්ණ හංස ජාතකය
137. “යම් තැනෙක්හි එක් බළලෙක් (මූෂිකාදි කිසි ගොදුරක්) ලබාද එතැන්හි දෙවෙනි බළලෙක් උපදී. තුන්වෙනි බළලෙක්ද, සතරවෙනි බළලෙක්ද, උපදී. තීගේ මේ පළිඟු බිලය බබ්බුකා බිල නම් වේ.
7. බබ්බුක ජාතකය
138. “මෝඩය, තට ජටායෙන් කවර ප්රයෝජනද? තට අඳුන් දිවි සමින් කවර ප්රයෝජනද? තාගේ හෘදය රාගාදියෙන් ගහනය. පිටත තපස් වෙස් දැරීමෙන් පිරිමදනෙහියයි” කීයේය.
8. ගොධ ජාතකය
139. “ඇස් දෙක බිඳුනහ. ගොඩ තිබූ වස්ත්රයද නැති විය. යෙහෙලිය හා ගෙහි අඹුවගේ කලහයවිය. දියෙහිද, ගොඩෙහිද යන දෙතන්හි අවුලට පැමිණි වැඩ ඇත්තේ වෙහියයි” කීයේය.
9. උභතොභට්ඨ ජාතකය
140. “නිරන්තරයෙන් බියපත්වූ සිත් ඇත්තාහ. සියලු ලෝකයා වෙහෙසන්නාහ. එහෙයින් අපගේ නෑයන්වූ ඒ කවුඩන්ගේ වුරුණු තෙල් නැත්තේ යයි” කීයේය.
10. කාක ජාතකය
දහහතරවන අසම්පදාන වර්ගය නිමි.
එහි උද්දානය:
ඉතරීතර, රක්ඛසි, ඛෙමිය, පරොසතපඤ්හ, ආහස්සර, හංසවරුත්තම, බබ්බු, ජට, පටනට්ඨක හා කාකවර යන දසයයි.