128. “යමෙක් ඒකාන්තයෙන් දශකුශල ධර්මයන් ද්වජයක් කොට ගෙණ සත්වයන් විශ්වාසකොට ගෙණ සැඟවුනේ පාපයෙහි හැසිරේද, ඔහුගේ ඒ ව්‍රතය බිළාල ව්‍රත නම් වේ.”
8. බිළාරවත ජාතකය.
129. “මේ මුදුන පිං පිණිස නොවෙයි. මේ මුදුන කෑම පිණිසවේ. ඇඟිලි ගණනට මූසික වර්ගයා නොපැමිණේ. අග්ගිකය, තාගේ මීයන් ගණන් කිරීම ප්‍රමාණයක් වේවායි” කීයේය.
9. අග්ගික ජාතකය.
130. “කෝසියාව, ලෙඩෙමි යන කීම පරිද්දෙන්ම ලෙඩට සුදුසු බෙහෙත් අනුභවකරව, තී අනුභව කළ ප්‍රණීත ආහාරවූ පරිද්දෙන්ම කියව, තීගේ කීමද වැඳීමද යන මේ දෙක සම නොවේයයි” කීයේය.
10. කෝසිය ජාතකය.
කුසනාළි වර්ගය දහතුන්වැනියි.
එහි උද්දානය:
කුසනාළි (සරික්ඛ), සිරිවහයන, යස, දධි, අම්බ, කටාහක පඤ්චමක, පාපක, ඛීර, බිළාරවත, සිඛි, කොසිය යැයි දසයෙකි.
14. අසම්පදාන වර්ගය
131. “යම්කිසි හීනවූද, උත්තම වූද, වස්තුවක්හුගේ නොගැන්මෙන් අඥානයාගේ මිත්‍රයෝ කිළුටුවූවාහු වෙත්, (හෙවත්) බිඳෙත්. එහෙයින් මිත්‍රයා විසින් දෙනලද බොල් කුරුණි සතර ගණිමියි, මාගේ මිත්‍රභාවය පිරිහීමට නොයේවා. මේ මිත්‍රත්වය කලක් නොපවතීවායි” කීයේය.
1. අසම්පදාන ජාතකය
132. “දක්ෂවූ පසේබුදුවරයන්ගේ අවවාදයෙහි දැඩිවූ ධෛර්‍ය්‍යයෙන්ද, සිත් තැතිගැණීමද, ශරීරය කම්පාකරණ මහත් භය ඇති බවද, හේතුකොට ගෙණ නොනැවතිහෙයින්ද, යකින්නන්ගේ වශඟබවට නොපැමිණියෙමු. මට මහත්වූ භයින් ඒ සෙත්බව වූයේය.”
2. පඤ්චගරු ජාතකය
133. “යම් තැනෙක්හි නිර්භයද, එතන්හී සතුරා නැගීසිටියේය. ජලය මැද ඝතාසන නම්වූ ගින්න දිළිහේ. පොළොවෙහිවූ ගසෙහි අද අපට වාසයෙක් නැත. නොයෙක් දිශාවන් සේවනය කරව්. අද අපට පිහිටවූ තැනින් භය උපන්නේයයි” කීයේය.
3. ඝතාසන ජාතකය
134. “යම් සචිත්තක සත්වකෙනෙක් ඇද්ද ඔවුහූද දුගීහ. අසංඥ භවයෙහි උපන්නාවූ යම් අචිත්තක සත්ව කෙනෙක් ඇද්ද ඔවුහුද (නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය නොලැබීමෙන්) දුර්ගතයහ. මේ (සංඥී භාවයද, අසංඥී භාවයද යන) දෙක දුරු කරව. ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති සැපය නිර්දෝෂ වේයයි” කීයේය.
4. ඣානසොධන ජාතකය
135. “චන්ද්‍රයා වැනිවූ ඔදාත කසිනයද, සූර්යයා වැනිවූ පීත කසීනයද යමෙක් මෙහිලා නුවණින් අරමුණු කොට ඇතුළුවේද, හෙවත් එහි පිහිටාද, නොහොත් චන්ද්‍රප්‍රභාව යම් තැනෙක පතලේද සූර්යප්‍රභාවයම තැනෙක පතලේද ඒ තන්හි ප්‍රතිභාග කසිනය වඩා ඒ අරමුණු කොට ධ්‍යානය උපදවන්නේය. මෙසේ දෙවැදෑරුම් ආලෝකය ප්‍රඥාවෙන් වඩාද, මෙසේ වැඩූ විතර්ක රහිතවූ ද්විතීය ධ්‍යානයෙන් ආභශ්වර බ්‍රහ්ම ලෝකයට පැමිණියේ වේයයි” කීයේය.”
5. චන්දාභ ජාතකය