119. “මව්පිය දෙදෙනා කෙරෙහි නොවැඩුනාවූ ඇදුරු කුලයෙහි නොවිසූ මේ කුකුළා හැඬීමට සුදුසු කාලය හෝ නුසුදුසු කාලය නොදනීයයි” කීයේය.
9. අකාලරාවී ජාතකය.
120. “යම් තැනෙක්හි අඥානයෝ කථා කෙරෙද්ද, එතැන්හි බන්ධනයට නුවණැත්තෝ කථා කෙරෙද්ද, එහි බන්ධනයට සුදුස්සෝද මිදෙත් යයි” කීයේය.
10. බන්ධනමොක්ඛ ජාතකය.
හංසි වර්ගය දොළොස්වැනියි.
එහි උද්දානය:
ගද්‍රභ, සත්තු, කංසසත ද, බහුචින්ති, සාසිකා, අතිකර, අතිවෙල, විසෙස, අනාචරිය, ධීරාපභාසර යැයි දසයෙකි.
13. කුසනාළි වර්ගය
121. “ජාත්‍යාදීන් සමාන වූයේද මිත්‍ර ධර්මය කරන්නේය. නොහොත් ජාත්‍යාදියෙන් ශ්‍රේෂ්ඨ වූයේද මිත්‍ර ධර්මය කරන්නේය. ජාත්‍යාදියෙන් හීනවූද එකෙක් මිත්‍ර ධර්මය කරන්නේය. ඒ මිත්‍රයෝ ව්‍යසනයෙහිදී උත්තමවූ අර්ථයක් කරන්නාහුය. කවරෙකු මෙන්ද යත්? බුරුත ගස උපන් (මහෙශාක්‍ය දෙවතාවූ) මමත් (දිය බෙරලිය ගස උපන් අල්පෙශාක්‍ය දෙවතාවූ) කුස නාලිත් යම්සේද එමෙනි.”
1. කුසනාළි ජාතකය.
122. “නුවණ නැත්තේ යසස් ලැබ තමහට අනර්ථයක් කෙරේ. තමහටද අන්‍යයන්ටද හිංසා පිණිස පිළිපදී යයි” කීයේය.
2. දුම්මෙධ ජාතකය.
123. “අඥානතෙම සියලු තන්හි නොකියයුතු යුතු වචනය හැම තැන්හී කියයි. මෙතෙම මිදුනු කිරිද නොදන්නේය. නඟුලිසද නොදන්නේය. කුමක් හෙයින්ද යත්? මෙතෙම මිදුනු කිරිද නඟුලිස යයි සිතාද, එහෙයිනි.”
3. නංගලීස ජාතකය.
124. “නුවණැති පුරුෂතෙම උත්සාහ කරන්නේමැයි නොකලකිරෙන්නේය. ව්‍යායාමයාගේ ප්‍රයෝජනය බලව, ඒ කවරේද යත්? මෙසේද මෙසේද වීයයි ශ්‍රැති වශයෙන් නොව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අඹ බොහෝ තපස්වීන් විසින් අනුභව කරණ ලදහයි කීයේය.”
4. අම්බ ජාතකය.
125. “ඒ පුරුෂතෙම තමාගේ තොරතුරු නොදන්නා අන් ජනපදයකට ගියේ බොහෝ කොටද පරිභව වචනාදීන් කියන්නේය. තම ස්වාමිතෙම නැවත අවුත් දූෂණය කරන්නේය. කටාහකය, සම්පත් අනුභව කරවයි” කීයේය.
5. කටාහක ජාතකය.