95. “සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපිද නස්නා ස්වභාව ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඒ සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමයයි කියන ලද නිර්වාණයම සැපයයි” වදාළේය.
5. මහාසුදස්සන ජාතකය.
96. “මුවවිට දක්වා පිරුණාවූ නොවැගිරෙන්නාවූ, තලතෙල් පාත්‍රය යම්සේ ගෙණයන්නේද එසේම නොගියවිරූ දිශාවවූ නිවන පතන්නේ ස්වකීයවූ සිත රක්නේයයි” වදාළේය.
6. තෙලපත්ත ජාතකය.
97. “ජීවකයාද මළහු දැක ධනපාලියද දුප්පත්වූවා දැක පන්ථකයාද වනයෙහි මං මුළාවූවහු දැක පාපකයා නැවත ආයේයයි” කීයේය.
7. නාමසිද්ධි ජාතකය.
98. “පණ්ඩිතයා නම් යහපත්වේ. නාම මාත්‍රයෙන් අතිපණ්ඩිත නම්වූ තැනැත්තේ උතුම් නොවේමැයි අතිපණ්ඩිතවූ පුත්‍රයා විසින් ඇසිල්ලකින් දවන ලද්දේ වීමියි” කීයේය.
8. කූටවාණිජ ජාතකය.
99. “රැස්වූවන් අතුරෙන් දහසකටත් වැඩිවූ ප්‍රඥා රහිතවූ ඔව්හු අවුරුදු සියයකුදු හඬන්නාහු නමුදු යමෙක් කියනලද වචනයාගේ අර්ථය දනීද, සප්‍රාඥවූ ඒ පුරුෂතෙමේම හුදකලාවූයේද, උතුම් වේයයි” කීයේය.
9. පරොසහස්ස ජාතකය.
100. “නොමිහිරි දෙය මිහිරි ස්වරූපයෙන්ද, අප්‍රිය වස්තුව ප්‍රිය ස්වරූපයෙන්ද දුක සැපය වශයෙන්ද ප්‍රමාදවූ පුරුෂයා ඉක්මවා පවතීයයි” වදාළේය.
10. අසාතරූප ජාතකය.
ලිත්ත වර්ගය දසවැනියි.
එහි උද්දානය:
ගිලමක්ඛ, කුතූහල, මාතුක ද, මුනි, අනිච්චත, පත්ථවර ද, ධනපාලිවර, අතිපණ්ඩිතක, සපරොසහස්ස, අසාත යැයි දසයෙකි.
මධ්‍යම පන්සියය නිමි.