100. “නොමිහිරි දෙය මිහිරි ස්වරූපයෙන්ද, අප්‍රිය වස්තුව ප්‍රිය ස්වරූපයෙන්ද දුක සැපය වශයෙන්ද ප්‍රමාදවූ පුරුෂයා ඉක්මවා පවතීයයි” වදාළේය.
10. අසාතරූප ජාතකය.
ලිත්ත වර්ගය දසවැනියි.
එහි උද්දානය:
ගිලමක්ඛ, කුතූහල, මාතුක ද, මුනි, අනිච්චත, පත්ථවර ද, ධනපාලිවර, අතිපණ්ඩිතක, සපරොසහස්ස, අසාත යැයි දසයෙකි.
මධ්‍යම පන්සියය නිමි.
11. පරොසත වර්ගය
101. “රැස්වූවන් අතුරෙහි සියයකට අධිකවූද, ප්‍රඥා රහිතවූ ඔව්හු අවුරුදු සියයක් සිතා බලන්නාහු නමුදු යමෙක් කියනලද වචනයාගේ අර්ථය දනීද, ප්‍රඥා සහිතවූ හෙතෙම එකලාවූයේම උතුම් වේ යයි කීයේය.
1. පරොසත ජාතකය.
102. “යමෙක් දුක් ඇති තැනැත්තියට ආරක්ෂාස්ථානය වන්නේද, මාගේ ඒ පියතෙම වනයෙහි මිත්‍රද්‍රොහි කර්මය කෙරෙයි. වනය මැද ඒ මම කවරෙකුට හඬා කියම්ද? යමෙක් ආරක්ෂාකරන්නේද, හෙතෙම බලාත්කාරකම් කෙරේයයි” කීයේය.
2. පණ්ණික ජාතකය.
103. “යම් තැනක වෛර ඇති පුද්ගලතෙම වෙසේද, එතන්හි නුවණැත්තේ නොවසන්නේයි කුමක් හෙයින්දයත්? වෛර ඇත්තවුන් අතුරෙහි එක් දවසක් හෝ දෙදවසක් හෝ දුකසේ වාසය කෙරේයයි” කීයේය.
3. වේරී ජාතකය.
104. “සතර දෙනෙකුන්ගෙන් නොසතුටුව අටදෙනෙකු ළඟට ගියේය. අට දෙනෙකුගෙන් නොසතුටුව සොළොස් දෙනෙකු ළඟට ගියේය. සොළොස් දෙනෙකුගෙන්ද නොසතුටුව දෙතිස් දෙනෙකු ළඟට ගියේය. වැඩි වැඩියක් පතන්නේ උරචක්‍රයට ලංවීය. තෘෂ්ණාවෙන් නසනලද පුරුෂයාගේ මස්තකයෙහි උරචක්‍රය භ්‍රමණය වේයයි” කීයේය.
4. මිත්තවින්ද ජාතකය.
105. “වනයෙහි බොහෝ වූ දුර්වලවූ යම් මේ දරකඩක් සුළඟ බිඳීද, ඒ දර බිඳීමට හස්තිය, ඉදින් බිය වෙහි නම් ඒකාන්තයෙන් තෝ කෘශවූයෙක් වන්නෙහියයි” කීයේය.
5. දුබ්බලකට්ඨ ජාතකය.