1. බොධිසත්ව ආදී ඇතැම් පණ්ඩිත මනුෂ්‍යයෝ අවිරුද්ධවූ කාරණය කීවාහුය. තර්ක කොට ගන්නාහු විරුද්ධවූ දෙවෙනි කාරණය කියති. නුවණැත්තේ විරුද්ධවූද අවිරුද්ධවූද මේ කාරණය දැක යමක් අවිරුද්ධ නම් එය ගන්නේයයි (වදාළහ.)
1. අපණ්ණක ජාතකය
2. කුසීත බැවින් දුරුවූ පටන් ගන්නාලද වීර්ය ඇති උත්තමයෝ මිනිසුන් හැසිරෙන භූමි ප්‍රදෙශ ඇති වැලි සහිත මාර්ගයෙහි බිම කණින්නාහු එහි පියයුතුවූ ජලය ලැබුවාහුය. මෙපරිද්දෙන් වීර්යයෙන් හා කායබල ඤාණ බලයෙන් යුක්තවූ කුසීත බැවින් තොරවූ වීර්ය ඇති තපස්වීතෙම සිතටද හෘදය වස්තුවටද ශීතල භාවය කරණ හෙයින් ශාන්ති නම්වූ ධ්‍යාන විදර්ශනා අභිඥා අර්හත්මාර්ග නමැති ආර්ය ධර්මය ලබන්නේයයි වදාළහ.
2. වණ්ණු පථ ජාතකය
3. සද්ධර්මයට නියමිතවූ ඒ සෝවාන් මාර්ගය යම්හෙයකින් මෙහි වීර්යය නොකිරීමෙන් වැරද වූයෙහි නම් නුඹ බොහෝ කලක් ශොක කිරීම ආදී වශයෙන් තැවෙන්නෙහිය. කවරෙකු මෙන්දයත්? සේරිවාණිජ නම් මේ වෙළෙන්දා මෙනි.
3. සේරිවාණිජ ජාතකය
4. වෙළඳාමෙහි දක්ෂවූ නුවණැත්තේ ස්වල්පවූද, බඩු මිළයෙන් තමන් නගාසිටුවයි. ඒ කෙසේදයත්? මුඛ වාතයෙන් පිඹ දල්වන්නාවූ මදවූ ගින්නක්මෙනි.
4. චුල්ලසෙට්ඨි ජාතකය
5. රජ්ජුරුවන් වහන්ස, පන්සියයක් අසුන්ගේ මිළ පිණිස සහල් නැළියක්ම අගීද, කිව මැනවැයි. (අස්වෙළඳතෙම රජහට කීය. රජහු විසින් විචාරණුලැබූ බඩු මිළ නියම කරන්නා) මේ සහල් නැළිය ඇතුළත පිටත සහිතවූ සියලු බරණැස් රාජ්‍යය වටීයයි කීයේය.
5. තණ්ඩුල නාළි ජාතකය
6. හිරි ඔතප් දෙකින් යුක්තවූ (හෙවත්) කාය දුශ්චරිතාදියට ලජ්ජාභය ඇති කුශල ධර්මයන්ගෙන් සමන්විතවූ ශාන්තවූ සත් පුරුෂයෝ සත්ව ලෝකයෙහි ත්‍රිවිධවූ දෙවියන්ගේ ධර්මයෝයයි (නොයෙක්) දෙවධර්මයෙන් යුක්තවූවෝයයි කියනු ලැබෙත්.
6. දෙවධර්ම ජාතකය
7. “මහරජ මම ඔබගේ පුත්‍රයෙමි. ජනාධිපතිය නුඹ මා පොෂණය කරව. දෙව තෙමේ සෙස්සන්ද පොෂණය කරයි. කුමක් හෙයින් ස්වකීය පුත්‍රවූ මා පොෂණය නොකරන්නේදැයි” කීයේය.
7. කට්ඨහාරි ජාතකය
8. “ඉක්මන් නොව කටයුතු කරන්නවුන්ටද බලාපොරොත්තු ආශාව (නොහොත්) ආශා ඵලය සමෘද්ධ වේමය සතර සංග්‍රහ වස්තුවයයි කියනලද මුහුකුරා ගියාවූ බ්‍රහ්මචරියා ඇත්තේවෙමි. ග්‍රාමණිය මෙසේ දැන ගණුවයි” කීයේය.
8. ගාමිණි ජාතකය
9. “මාගේ හිසෙහි හටගන්නා හෙයින් උත්තමංග රුහනම්වූ වයස් පැහැර ගන්නාවූ මේ පැසුණු කෙස් හටගත්හ. දේවදූතයෝ පහළවූහ. එහෙයින් මාගේ ප්‍රව්‍රජ්‍යාවට සුදුසු කාලය වේයයි” කීයේය.
9. මඛාදෙව ජාතකය
10. යම් පුද්ගලයෙකු සෙසු බොහෝ පුද්ගලයෝ රක්ෂා නොකෙරෙත්ද, යමෙක් සෙසු බොහෝ පුද්ගලයන් රක්ෂා නොකෙරේද, මහරජ, ඒ පුද්ගල තෙම වස්තුකාම ක්ලේශකාමයන්හි අපේක්ෂාවක් නැත්තේ ඒකාන්තයෙන් සුවසේ වාසය කෙරේයයි” වදාළහ.
10. සුඛවිහාරි ජාතකය
අපණ්ණක වර්ගය පළමුවැනියි.
එහි උද්දානය:
අපණ්ණක, වණ්ණුපථ, සේරිවාණිජ, චුල්ලසෙට්ඨි, තණ්ඩුලනාළි, දේවධම්ම, කට්ඨහාරි, ගාමණී, මඛාදේව, සුඛවිහාරි යන ජාතක දසයයි.