4. 1. 2.
2. අප්ප සුලභ සූත්‍රය
101. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. මහණෙනි, ස්වල්පවූද සුවසේ ලැබිය හැකිවූද, මේ කරුණු සතරෙකි. ඔව්හුද නිර්දෝෂ වෙත්, කවර සතරක්ද යත්?
මහණෙනි, සිවුරු අතුරෙන් පංසුකූල සිවුර ස්වල්පද වේ. සුවසේ ලැබිය හැකිද වේ. එයද නිර්දෝෂය. මහණෙනි, බොජුන් අතුරෙන් පිණ්ඩියා ලොප භොජනය ස්වල්පද වෙයි. ලබන්නට පහසුද වෙයි. එයද නිර්දෝෂයි. මහණෙනි, සෙනසුන් අතුරෙන් වෘක්ෂමූලය මදද වෙයි. ලැබීම පහසුද වෙයි, එයද නිවරදය. මහණෙනි, බෙහෙත් අතුරෙන් යම්කිසි ගොමූත්‍රයක් ස්වල්පද වෙයි. ලැබීමට පහසුද වෙයි, හෙද නිර්දෝසය.”
“මහණෙනි. මේ සතර වනාහි ස්වල්පද වෙත්, ලැබීමට පහසුද වෙත්, ඒවාද නිරවද්‍ය වෙති.
මහණෙනි, යම් මහණෙක් වනාහි මද දැයින්ද ලැබීමට පහසු දැයින්ද සතුටු වූයේ වේද, මේ සතුටුවීම මේ භික්ෂුවගේ එක් ශ්‍රමණභාවයට කරුණ කැයි කියමියි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “සෙනසුන්ද සිවුරුද පාන වර්ග හා බොජුන්ද අරබයා පීඩා විඳින බවෙක් නිර්දෝෂවූද ස්වල්පවූද ලැබීමට පහසුවූද සතුටුවන්නාහට නොවේ. දිශාවෝ නොනැසෙත්.
3. “මේ ශ්‍රමණ භාවයට සුදුසුවූ යම් ප්‍රතිපත්ති ධර්ම කෙනෙක් වදාරන ලද්දාහුද අප්‍රමාදයෙන් යුක්තවූ හික්මෙන්නාවූ (ලද දැයින්) සතුටුවන මහණහු විසින් ඒ සියලු පිළිවෙත් ගන්නා ලද්දාහු යයි.”
මේ කරුණද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
4. 1. 3.
3. ජානතො ආසවක්ඛය සූත්‍රය
102. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂයය කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ (ආශ්‍රවක්ෂයය) නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වේද?
“මහණෙනි, මේ දුක යයි දන්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වෙයි. මහණෙනි, මේ දුක ඉපදීමට හේතුවයයි. දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වෙයි. මහණෙනි, මේ දුක නිරුද්ධ කිරීමයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වෙයි. මහණෙනි, මේ දුක නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදාවයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම වේ. මහණෙනි, මෙසේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමවේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “හික්මෙන්නාවූ ඍජුවූ ආර්යමාර්ගයන් පිළිවෙළින් උපදවන්නාවූ ශෛක්ෂ පුද්ගලයාගේ ක්ෂය යයි කියන ලද අග්‍රමාර්ගයෙහි නුවණ පළමුව (උපදී) ඒ මාර්ග ඥානයට අනතුරුව රහත් බව උපදී. මාර්ගය අනුව යන්නහුගේ ක්ෂය නම්වූ ශ්‍රොතාපත්ති මාර්ගයෙහි පළමු ඤාණයවූ අනඤ්ඤාතඤ්ඤස්සාවීන්ද්‍රියය (උපදී,) ඒ පළමු ඤාණයෙන් අනතුරුව පටන් අන්‍යවූ අඤ්ඤින්ද්‍රියය (උපදී,)
3. “ඒ අඤ්ඤින්ද්‍රියයෙන් ප්‍රඥා විමුක්තියවූ අඤ්ඤාතාවින්ද්‍රියයෙන් මිදුනහුගේ උතුම්වූ ඵලයෙහි හා නිර්වාණයෙහිද ඥානය (උපදී,) ක්ෂය කරන්නාවූ (අනාර්ය මාර්ගයෙහි) ඤාණය (උපදී,) සංයෝජනයෝ ක්ෂය කරන ලද්දාහුයයි (ප්‍රත්‍යවෙක්ෂාඥානය (උපදී,)
4. “සියලු ක්ලෙශ බැමිවල මිදීමට නිමිතිවූ මේ නිවන වූකලී අලසයා විසින්ද නොදන්නාවූ බාලයා විසින්ද නොම ලැබිය යුතුයයි.”
මේ කරුණද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මා විසින් මෙසේ අසන ලදී.
4. 1. 4.
4. ජාති ජරූපග (ශ්‍රමණ බ්‍රාහ්මණ) සූත්‍රය
103. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී, රහතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලදී:
1. “මහණෙනි, යම් කිසි ශ්‍රමණකෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ මෙතෙක් දුකයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද, මේ මෙතෙක් දුක උපදින හේතුයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද, මේ දුක නිරුද්ධ කිරීමයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද, මේ දුක නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් නොදනිද්ද. “මහණෙනි, ශ්‍රමණවූ හෝ බ්‍රාහ්මණවූ හෝ ඔව්හු මා විසින් ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි හෝ අනුනොදන්නා ලද්දාහුය. බමුණන් කෙරෙහි බමුණුයයි හෝ අනුනොදන්නා ලද්දාහුය. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණඵලය හෝ බ්‍රාහ්මණඵලය හෝ (නොහොත්) සතර ආර්ය මාර්ගය හෝ සතර ආර්යඵලය හෝ යම් ආත්මභාවයෙහිම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ නොම වෙසෙත්.
“මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් වේවයි බමුණෝ වේවයි මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මේ දුක උපදින හේතුයයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මේ දුක නිරුද්ධ කිරීමයයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මේ දුක නිරුද්ධ කිරීමට පමුණුවන පිළිපැදීමයයි තත්වූ පරිද්දෙන් දනිද්ද, මහණෙනි ශ්‍රමණවූ හෝ බ්‍රාහ්මණවූ හෝ ඔහු තුමූ මා විසින් මැඩ පවත්වන ලද පව් ඇති ශ්‍රමණයන් කෙරෙහිද ශ්‍රමණයයි දන්නා ලද්දාහුය; බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ යයි දන්නා ලද්දාහුය. ඒ ආයුෂ්මත්හුම සතර ආර්ය මාර්ගයද සතර ආර්ය ඵලයද මේ ආත්ම භාවයෙහිම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වෙසෙත් යයි.”