3. 5. 1.
1. අග්ගප්පසාද සූත්රය
90. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. මහණෙනි, මේ අග්රවූ රත්නත්රය කෙරෙහි හෝ ශ්රේෂ්ඨවූ පැහැදීම් තුණක්වෙත්, කවරතුණක්ද යත්,
මහණෙනි, පානැත්තාවූද දෙපා ඇත්තාවූද සිවුපා ඇත්තාවූද බොහෝ පා ඇත්තාවූද රූ ඇත්තාවූද රූනැත්තාවූද සංඥාව ඇත්තාවූද සංඥාව නැත්තාවූද භවාග්රයට ඇතුළත්වූද යම් පමණ සත්වයෝ වෙද්ද, ඒ සත්වයන් අතුරෙන් තථාගත නම්වූ අර්හත් සම්යක් සම්බුදුන් වහන්සේ ශ්රේෂ්ඨයයි කියනු ලැබෙයි. මහණෙනි, යම්කෙනෙක් බුදුරජුන් කෙරෙහි පහන්වූවාහුද ඔහුතුමූ ශ්රේෂ්ඨයා කෙරෙහි පැහැදුනෝවෙත්, ශ්රේෂ්ඨවූ බුදුරුවනෙහි ප්රසන්නවූවන්ට ශ්රේෂ්ඨවූ විපාකය වෙයි.
මහණෙනි, ප්රත්යයන් එකතුව කරනලද්දාවූද හේතු ප්රත්යයන් විසින්ද කිසිවෙකු විසින්ද නොකරනලද්දාවූද යම් පමණ ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අතුරින් මත්ගති මර්දනය කිරීමට නිමිතිවූ පිපාස නැසීමට නිමිතිවූ සියලු ආලයන් වැනසීමට නිමිතිවූ සංසාරය සිඳීමට නිමිතිවූ තෘෂ්ණාව ක්ෂයවීමට නිමිතිවූ රාගය වැනසීමට නිමිතිවූ නොපැවැත්මවූ තෘෂ්ණාව නැත්තාවූ යම් මේ නිවනෙක්වේද, (ඒ නිවන) අග්රයයි කියනු ලැබේ. මහණෙනි යම්කෙනෙක් නිර්වාණ ධර්මයෙහි ප්රසන්නාවූවාහුද, ඔව්හු ශ්රේෂ්ඨ ස්ථානයෙහි පැහැදුනෝවෙත්, අග්රස්ථානයෙහි පැහැදුනවුන්ට අග්රවූ විපාකයවෙයි.
මහණෙනි, යම්පමණ (ජන) සමූහයෝද ගණයෝද වෙද්ද, ඔවුන් අතුරෙන් යම් මේ පුරුෂයුගල සතරක් වෙද්ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද තථාගතයන් වහන්සේගේ ශ්රාවක සමූහ තෙමේ අග්රයයි කියනු ලැබේ. භාග්යවතුන් වහන්සේගේ මේ ශ්රාවක සමූහතෙමේ දුරිනුදු ගෙණ ආ දන් පිළිගැන්මට සුදුසුය, දුරිනුදු අවුත් දියයුතු සත්කාරාදිය පැමිණවීමට සුදුසුය, අමුතු මහදන් පිළිගැන්මට සුදුසුය, කරන සත්කාරය පිළිගැණීමට සුදුසුය, (පරලොව අදහා දියයුතු දක්ෂිණාව පිළිගැණීමට සුදුසුය, කරනු ලබන ඇඳිලිබැඳීමට සුදුසුය. (සියලු) ලෝවැස්සාගේ අසමානවූ පින් කෙතවේ, මහණෙනි, යම් කෙනෙක් සංඝයා කෙරෙහි පැහැදුනාහුවෙද්ද, ඔහු තුමූ ශ්රේෂ්ඨස්ථානයෙහි ප්රසන්න වූවාහුය, අග්රස්ථානයෙහි පැහැදුනවුන්ට අග්රවූ විපාකයවේ.
මහණෙනි, මේ වනාහි තුන් අග්රප්රසාදයෝ වෙත්යයි
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “අග්රවූ තෙරුවන් කෙරෙහි හෝ ශ්රේෂ්ඨ භාවයෙන් හෝ පැහැදුනාවූ (තෙරුවනගේ) අග්ර ස්වභාවය ගුණස්වභාවය දන්නවුන්ට විපාකය අග්රවේ. ශ්රේෂ්ඨවූ දක්ෂිණාවට සුදුසුවූ අග්රවූ බුදුරජුන් කෙරෙහි පැහැදුනවුන්ටද,
3. (සියලු) රාගයාගේ අතිශයින් නැසීමට හේතුවූද සංසිඳුවීමට හේතුවූද (සංස්කාරයන්ගේ සංසිඳීම සුවය බැවින්ද සැප ඇත්තාවූ ශ්රේෂ්ඨ ධර්මයෙහි පැහැදුනවුන්ටද, නිරුත්තර පින්කෙත්වූ ශ්රේෂ්ඨවූ (ආර්ය) සංඝයා කෙරෙහිද පැහැදුනවුන්ටද
4. ශ්රේෂ්ඨ රත්නත්රය විෂයයෙහි දන්දෙන්නවුන්ට අග්ර පින් වැඩෙයි, අග්රවූ ආයුෂද රූප සම්පත්තියද පිරිවරද ගුණ ඝොෂයද සුවයද (කාය) බලය හා ඤාණ බලයද වැඬේ.
5. ශ්රේෂ්ඨරත්නත්රයට හෝ අග්රදානවස්තුව මහත්කොට හෝ දෙන්නාවූ නුවණැත්තාවූ අග්රවූ ප්රසාදධර්මයෙන් හෝ අග්රදෙය ධර්මයෙන් යුක්තවූ පුද්ගලතෙමේ දෙවිවූයේ හෝ මිනිස්වූයේ හෝ ශ්රේෂ්ඨ බවට හෝ අග්රවූ ලොකොත්තර මාර්ගඵලයට හෝ පැමිණියේ විශේෂයෙන් සතුටුවේයයි.
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමවේ.
3. 5. 2.
2. ජීවිත සූත්රය
91. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. අරහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
1. මහණෙනි, ජීවිකාවන් අතුරින් පිඩු සෙවීමෙන් ජීවිකාව කරන්නහුගේ යම් ජීවිකාවක්වේද, මෙය ලාමකය, මහණෙනි, යම්හෙයකින් ලෝකයෙහි පාත්රය ගත් අත් ඇත්තෙක්ම පිඬු සොයන්නේ හැසිරෙන්නෙහියයි දොස් කීමක්වේද, මහණෙනි, කුලපුත්රයෝ කරුණක් නිසා ඒ ඒ දොස් ලැබීමටද පැමිණෙත්, රජුන් විසින් (බන්ධනයට) පමුණුවනලද්දාහු නොම පැමිණෙත්, සොරුන් විසින් පමුණුවන ලද්දාහු නොම පැමිණෙත්, ණය ගැතියෝව නොමලබත්, භයින් පෙළුනාහු නොමලබත්, ජීවත්විය නොහෙන බැවින් මඩනලද්දාහු නොමලබත්, මෙහි කරුණක් ඇත ඉපදීමෙන්ද ජරාවෙන්ද මරණයෙන්ද ශෝකයෙන්ද වැළපීමෙන්ද කායික දුඃඛයෙන්ද චෛතසික දුඃඛයෙන්ද දැඩි ආයාසයෙන්ද ගැවසීගත්තෝ වම්හ. දුඃඛයන් විසින් ඇතුළත පමුණුවන ලද්දෝවම්හ. මඩනාලද්දෝවම්හ, මේ හැම දුක්රැසගේ කෙළවර කිරීම පෙණෙන්නේ නම් ඉතා යෙහෙකැයි”යි (පැවිදවීය.)
මහණෙනි, මෙසේ පැවිදිවූ මේ කුලපුත්රතෙමේද විෂමලෝභය බහුලකොට ඇත්තේවේද, වස්තුකාම ක්ලේශ කාමයන්හි දැඩිව ඇලුම් ඇත්තේවේද, ක්රෝධයෙන් (යුක්ත බැවින්) විකාරයට පැමිණිසිත් ඇත්තේවේද, දුෂ්ටවූ කල්පනා ඇත්තේවේද, මුළාවූ සිහිය ඇත්තේවේද, ප්රඥාව නැත්තේවේද, නොපිහිටි සිත් ඇත්තේවේද, භ්රාන්තවූ සිත් ඇත්තේවේද, සංවරනොවූ ඉඳුරන් ඇත්තේවේද,
මහණෙනි, යම්සේ වනාහි දෙකොණෙහි ගිනිගත් මැද අසූචි තැවරුණු සොහොන් පෙනෙල්ල ගමේ දර පිණිසද නොමගන්නේද, වනයෙහි දර පිණිසද නොම ගන්නේද, මහණෙනි, මම මේ දුසිල් පුද්ගලයා එසේ සොහොන් පෙනෙල්ල බඳුයයි කියමි. ගිහියන් විසින් සැපතින්ද පිරිහුණේය, ශ්රමණභාවයවූ ප්රයෝජනයද සම්පූර්ණ නොකෙරේයයි.