3. 4. 5.
5. ලොකානුකම්පා සූත්රය
84. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. අර්හතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
1. මහණෙනි, සත්ව ලෝකයෙහි මේ තුන් පුද්ගල කෙනෙක් උපදනාහු බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිසුන්ට ප්රයෝජන පිණිස වැඩ පිණිස උපදිත්. කවර තුන්දෙනෙක්ද යත්?
මහණෙනි, මේ ලෝකයෙහි අර්හත්වූ මනාකොට ත්රිවිද්යා අෂ්ටවිද්යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ සුගත නම්වූ ලෝ දන්නාවූ ගුණයෙන් තමහට වැඩි තරම් උතුමෙකු නැත්තාවූ නොදැමුණු දැමීමට සුදුසු පුරුෂයන් හික්මවීමෙහි රථාචාර්යයකු වැනිවූ හෝ ගැල්නායකයකුසේ සතුන් සසර කතරින් එතෙර කරන්නාවූ දෙවිමිනිසුන්ට අනුශාසනය කරන්නාවූ චතුස්සත්යයන් අවබෝධකළාවූ සියලු කෙලෙසුන් නැසීම් ආදී අර්ථයෙන් භගවත්වූ තථාගතයන් වහන්සේ උපදින සේක්ද, ඒ තථාගතයන් වහන්සේ (ශීලයෙන්) මුල යහපත්වූ (මාර්ගඵලයෙන්) මැද යහපත්වූ (නිවණින්) අග යහපත්වූ (ගැඹුරු අදහස් ඇති) අර්ථයෙන් යුක්තවූ පදයෙන් යුක්තවූ සියල්ලෙන් සම්පූර්ණවූ ධර්මය දෙසනසේක්ද පිරිසිදුවූ බ්රහ්මචරියාව ප්රකාශ කරනසේක්ද, මහණෙනි, මේ පළමුවන පුද්ගලතෙමේ සත්ව ලෝකයෙහි උපදනේ මහාජනයාට හිත පිණිස මහාජනයාට සැප පිණිස සත්ව ලෝකයට කරුණාව පිණිස දිව්ය මනුෂ්යයන්ට ප්රයෝජන පිණිස වැඩ පිණිස සුව පිණිස උපදී.
මහණෙනි, නැවතද ඒ ශාස්තෲන් වහන්සේගේම ශ්රාවක තෙමේ රහත් වේද, ක්ෂය කරන ලද ආශ්රවයන් ඇත්තේ වේද, වැස නිමවන ලද බඹසර ඇත්තේ වේද ආර්ය මාර්ගයෙන් කරනලද කටයුතු ඇත්තේ වේද, බහා තබන ලද ක්ලෙශභාර ඇත්තේ වේද, පැමිණි රහත් ඵලයයි කියන ලද ස්වකීය අර්ථය ඇත්තේ වේද, ක්ෂයවූ භවය හා දස සංයෝජනයන් ඇත්තේ වේද, මනාව දැන කෙලෙසුන්ගෙන් වෙසෙසින් මිදුනේ වේද, ඒ ශ්රාවකතෙමේ ආදියෙහි යහපත් වූද මැද යහපත්වූද අවසානයෙහි යහපත්වූද අර්ථවත්වූ ව්යඤ්ජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණ දහම් දෙසාද පිරිසිදුවූ බ්රහ්මචර්යය ප්රකාශ කෙරේද, මහණෙනි, මේ දෙවන පුද්ගල තෙමේ සත්ව ලෝකයෙහි උපදනේ බොහෝදෙනාට වැඩ පිණිස බොහෝදෙනාට සැප පිණිස සත්ව ලෝකයාට කරුණාව පිණිස දෙව් මිනිසුන්ට ප්රයෝජන පිණිස හිත පිණිස සුව පිණිස උපදී.
මහණෙනි, නැවතද එම ශාස්තෲන් වහන්සේගේ ශ්රාවකතෙමේ ශෛක්ෂයෙක් වේද, පිළිපැදීමයයි කියන ලද ආර්ය මාර්ගයෙන් උපන්නේ වේද බොහෝ අසන ලද්දේ වේද ශීලයෙන් ධුතාංගයෙන් යුක්තවූයේ වේද, හෙතෙමේද ආදියෙහි මනාවූ මැද කලණවූ අවසනෙහි කලණවූ (ගැඹුරු) අර්ථ ඇත්තාවූ ව්යඤ්ජනයෙන් යුක්තවූ සියල්ලෙන් සම්පූර්ණ ධර්මය දෙසාද පිරිසිදු බඹසර ප්රකාශ කෙරේද, මහණෙනි, මේ තුන්වන පුද්ගලතෙමේ ස්කන්ධ ලෝකයෙහි උපදනේ මහජනයාට වැඩ පිණිස මහජනයාට සුව පිණිස ලොවට කුළුණු පිණිස දෙවිමිනිසුන්ට ප්රයෝජන පිණිස වැඩ පිණිස සුව පිණිස උපදී. මහණෙනි, මේ තුන් පුද්ගලයෝ වනාහි සත්ව ලෝකයෙහි උපදනාහු බොහෝදෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිසුන්ට ප්රයෝජන පිණිස වැඩ පිණිස සුව පිණිස උපදිත්.
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “මහත් ශීල ස්කන්ධාදිය සෙවූ ශාස්තෲන් වහන්සේ වනාහි සත්ව ලෝකයෙහි පළමු පුද්ගලයා වේ. උන්වහන්සේගේ අනුජාත පුත්රවූ වඩන ලද සිත් ඇති ශ්රාවක තෙමේ දෙවන පුද්ගලයා වේ.
3. “නැවත උපන්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ශීල ව්රත දෙකින් යුත් ශෛක්ෂ ශ්රාවක තෙමේ අන්යවූ තුන්වන පුද්ගලයා වේ. ධර්මාලෝකය කරන්නාවූ ධර්මය කියන්නාවූ දෙවිමිනිසුන්ට ශ්රේෂ්ඨවූ මේ තුන් පුද්ගලයෝ නිවන (පිළිබඳ) දොර (ආර්ය මාර්ගය) අරිත්. ඔහු තුමූ බොහෝදෙනා (කාමාදී සතර) යොගයෙන් මුදවත්.
4. “යම් කෙනෙක් උතුම්වූ ජනයන් උසුලන්නාවූ සාර්ථවාහකයෙකු බඳු බුදුරදුන් විසින් මොනවට දෙසන ලද ආර්ය මාර්ගයට බුදුන් වහන්සේගේ සස්නෙහි යම් කෙනෙක් අප්රමාදයෙන් මේ ආත්මභාවයෙහි සසර දුක් කෙළවර කෙරෙත්යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මාගේ ඇසීමයයි.
3. 4. 6.
6. අසුභානුපස්සී සූත්රය
මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
“මහණෙනි, කයෙහි අශුභයයි (අශුභ අයුර) අනුව බලන්නෝව වසවු. තොපගේ ආශ්වාස ප්රශ්වාසයෙහි යොදන සිහිය අනිත්යයයි අනුව බලන්නෝව වසවු මහණෙනි, කයෙහි අශුභයයි අනුව බලමින් වසන්නවූන්ගේ ශුභ නිමිත්තෙහි ශුභ අරමුණෙහි ඉපදීමට සුදුසු කාම රාගානුසයයෙක් වේද, ඒ අනුසයය පහවෙයි, තමා කෙරෙහි කර්මස්ථානයට අභිමුඛව ආශ්වාස ප්රාශ්වාසයන් අරමුණු කොට ඇති සිහිය මනාව වැටහුනු කල්හි බැහැරවූ ආසයානුගතවූ යම් (කාමවිතර්කාදී) මිථ්යා විතර්කයෝ වෙද්ද, දුක් කොටස් ඇත්තාවූ හෝ ආශාවිනාසය ඉපදීම ඇත්තාවූ හෝ ඒ මිථ්යා සංකල්පනාවෝ පහවෙත්. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්යයයි අනුව බලමින් වසන්නවුන්ගේ යම් අවිද්යාවක් වේද, ඕ තොමෝ පහවෙයි. යම් (අර්හත් මාර්ග විද්යාවක් (ඥානයක්) වේද, ඒ මාර්ග විද්යාතොමෝ උපදී යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයෙහි අශුභය අනුව බලන්නාවූ ආශ්වාස ප්රශ්වාස නිමිත්තෙහි එළඹ සිටි සිහිය ඇත්තාවූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ නිවන දක්නාවූ හැමදා කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ