3. 4. 3.
3. දෙව සද්ද සූත්රය
82. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. අර්හතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
1. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල දෙවියන්ගේ මේ තුන් ශබ්දයෝ පවතිත්. කවර තුන් හඬද යත්?
මහණෙනි, යම්කලෙක්හි ආර්ය ශ්රාවකතෙමේ කෙස් රැවුල් බා සිවුරු හැඳ පොරොවා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස සිතාද, එකල්හි දෙවියන් කෙරෙහි ‘එම ආර්ය ශ්රාවකතෙමේ (ක්ලෙශ) මාරයා සමග සටන් කරනු පිණිස සිතා’යයි දෙවියන්ගේ ශබ්දය කලින් කල පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ පළමුවන දෙව්හඬ පැතිරෙයි.
නැවතද මහණෙනි, යම්කලෙක්හි ආර්ය ශ්රාවක තෙමේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි භාවනානු යොගයෙහි නැවත නැවත යෙදුනේ වේද, එකල්හි “එම ආර්ය ශ්රාවක තෙමේ (කෙලෙස් නමැති) මරුවා සමග යුද කෙරේ”යයි දෙවියන් කෙරෙහි දෙවියන්ගේ හඬ කලින් කල පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ දෙවන දෙව් හඬ පැතිරෙයි.
නැවතද මහණෙනි, ආර්ය ශ්රාවකතෙමේ (කාමාදී) ආශ්රවයන්ගේ ක්ෂයකිරීම හේතුකොටගෙන ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධියද අර්හත්ඵලය හා යෙදුන ප්රඥාවද මේ ආත්ම භාවයේදීම තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, මහණෙනි, එකල්හි අර ආර්ය ශ්රාවක තෙමේ දිනන ලද ක්ලෙස යුද්ධ ඇත්තේ වෙසේයයි දෙවියන් කෙරෙහි කලින් කල දෙවියන්ගේ හඬ පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ තුන්වන දෙව් හඬ පැතිරෙයි.
මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ තුන් හඬවල් වනාහි පැතිරෙත් යයි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “දිනන ලද (ක්ලෙශ) යුද්ධය ඇත්තාවූ (ගුණයෙන් මහත්වූ හෝ පූජ්යවූ පහවගිය (කෙලෙස්) බිය ඇත්තාවූ සම්යක් සම්බුදුහුගේ ශ්රාවකයා දැක දෙවියෝද වඳිත්.
3. “යම් බඳුවූ නුඹවහන්සේ වැළකීමක් නැත්තාවූ මරහුගේ සේනාව ආර්ය මාර්ගයෙන් ජයගෙන දුෂ්කරවූ දිනීම ලබාගත්තේද, එහෙයින් ඔබට නමස්කාර වේවා”යි
4. “යම් හෙයකින් ඒ ශ්රේෂ්ඨ පුරුෂයාගේ ප්රාර්ථනාව සොයන්නේද දෙවියෝ ස්වල්ප මාත්රයකුදු ඒ කාරණය නොදනිත්ද, යම්හෙයකින් හෙතෙම මරුවාගේ වසඟයට යන්නේද, එහෙයින් මේ ප්රකාරයෙන් පැමිණි අර්හත් ඵලය ඇති මේ ක්ෂීණාශ්රවවූ විශුද්ධ දෙවියාට දෙවියෝ නමස්කාර කෙරෙත්යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
3. 4. 4.
4. දෙව පුබ්බ නිමිත්ත සූත්රය
83. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. අර්හතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
1. මහණෙනි, යම් කලෙක (උත්පත්ති) දෙවි තෙමේ දිව්ය සමූහයෙන් හෝ දෙව්ලොවින් චුතවන ස්වභාවය ඇත්තේ වේද, (එකල්හි) ඔහුට පෙරනිමිති පසෙක් පහළවෙත්. පළඳනා ලද මල් මලානික වෙත්. හඳනා පොරොවනලද වස්ත්ර කිලිටිවෙත්. කිසිලිවලින් මඩදිය දහරා වැගිරෙති. කයෙහි දුර්වර්ණභාවය පිහිටයි. ස්වකීය (තමාගේ) දිව්යාසනයෙහි නොඇලෙයි.