3. 4. 1.
1. අකුසල විතක්ක සූත්‍රය
80. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. අර්හතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
1. මහණෙනි, මේ තුන් අකුශල විතර්ක කෙනෙක් (මිථ්‍යා කල්පනාවෝ) වෙත්. කවර තුන් විතර්කයෝද යත්? පිරිහෙලා නොබණින බව කැමැති බැවින් යුක්තවූ හෝ ඒ අරභයා පැවැති විතර්කය, ලැබීමය සත්කාරය කීර්තිය යනමොවුන් පිළිබඳ විතර්කය, අනුන් කෙරෙහි අනුකම්පා බව බඳු කාමයෙහි ඇළුන ප්‍රෙමය පිළිබඳවූ විතර්කය යන තුනය. මහණෙනි, මේ වනාහි තුන් අකුශල විතර්කයෝ වෙතියි.
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “අන්‍යයෝ අවමන් නොකරන්නේ නම් මැනවයි පැවැති කැමැති කල්පනාවෙන් යුක්තවූ පුද්ගල තෙමේද, ලාභසත්කාරයෙහි ගෞරවය ඇති පුද්ගල තෙමේද ඇමතියන් සමග සතුටුවනසුලු පුද්ගල තෙමේද, සංයෝජනයන්ගේ ක්ෂයකිරීමෙන් දුරෙහි වේ.
3. “යමෙක් වනාහි දරුවන් හා සිවුපාවුන්ද විවාහයන්ද පිරිකර (බඩුද) හැරපියා (පැවිදිවීද,) එබඳු ඒ මහණතෙමේ උතුම් අර්හත්මාර්ගඥානය ලබන්නට සුදුසුවේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
3. 4. 2.
2. සත්කාරාභිභූත සූත්‍රය
81. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. අර්හතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
1. මහණෙනි, සත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්වා ගන්නාලද්දාවූ සිත් ඇති යටපත් කරනලද්දාවූ ක්ෂයයට පමුණුවනලද සිත් ඇත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහ. මහණෙනි, යටපත් කරනලද්දාවූ හාත්පස අල්වාගන්නා ලද සිත් ඇති සත්වයෝ කයබිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ සත්කාර අසත්කාර දෙකින්ද, මැඩුනාවූ අල්වාගන්නාලද සිත් ඇති සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරු සේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය.
මහණෙනි, මම ඒ ප්‍රකාශය වූකලි අන් මහණෙකුගේ හෝ බමුණෙකුගේ හෝ බස් අසා නොව “මහණෙනි, සත්කාරයෙන් හෝ සත්කාර හේතුකොට ඇති මාන මදාදියෙන් හෝ මඩනාලද්දාවූ හාත්පසින් අල්ලාගන්නාලද සිත් ඇත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරුගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහු මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, අසත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද සිතැත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් වෙන්වූ දුර්ගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ ම විසින් දක්නා ලද්දාහුයයි නොමකියමි. මහණෙනි, සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ සත්කාර අසත්කාර දෙකින්ද මඩනා ලද්දාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරුගති ඇත්තාවූ නපුරු සේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුයයි නොකියමි. අපි ච භික්ඛවෙ යදෙව මෙ සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙවාහං වදාමි:
‘මහණෙනි, සත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද සිතැත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ දුක්ගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නාහු මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, අසත්කාරයෙන් මඩනා ලද්දාවූ හාත්පස අල්ලාගන්නාලද්දාවූ සිතැති සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුක්ගති ඇත්තාවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ දෙකින්ද මඩනා ලද්දාවූ හාත්පස අල්ලා ගන්නා ලද්දාවූ සිතැති සත්වයෝ මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ විවිධව හෝ විකාරයෙන් වැටෙනු ලබන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්න ලද්දාහුය’යි.
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “සත්කාර කරනු ලබන්නාවූ අප්‍රමාණ විහරණය ඇත්තාවූ යම්රහතන් වහන්සේ කෙනෙකුන්ගේ සමාධිය (සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද සත්කාර අසත්කාර දෙකින්ද) නොසැලේද, (එකඟ බවෙහිම සිටීද.)
3. “ධ්‍යාන කරන සුලුවූ නිතර පැවැති කායික චෛතසික වීර්යය ඇත්තාවූ සියුම් දෘෂ්ටි ප්‍රඥාවෙන් විදර්ශනාව ඇත්තාවූ (සතර උපාදානයන්ගේ ක්ෂය ඇලුම්කොට ඇත්තාවූ ඒ රහත්හු ශාන්ත පුරුෂයයි (බුද්ධාදීහු) කියත් යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
3. 4. 3.
3. දෙව සද්ද සූත්‍රය
82. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. අර්හතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
1. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල දෙවියන්ගේ මේ තුන් ශබ්දයෝ පවතිත්. කවර තුන් හඬද යත්?
මහණෙනි, යම්කලෙක්හි ආර්ය ශ්‍රාවකතෙමේ කෙස් රැවුල් බා සිවුරු හැඳ පොරොවා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස සිතාද, එකල්හි දෙවියන් කෙරෙහි ‘එම ආර්ය ශ්‍රාවකතෙමේ (ක්ලෙශ) මාරයා සමග සටන් කරනු පිණිස සිතා’යයි දෙවියන්ගේ ශබ්දය කලින් කල පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ පළමුවන දෙව්හඬ පැතිරෙයි.