3. 2. 7.
7. සොචෙය්ය සූත්රය
මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
66. “මහණෙනි, මේ පිරිසිදු බැව් තුණෙකි. කවර තුණෙක්ද යත්? කාය සුචරිතය වාග්සුචරිතය මනොසුචරිතය (යන තුණය). මහණෙනි, මේ වනාහි තුන් පිරිසිදු බැව් වෙත්ය”යි.
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයින් පිරිසිදු බවය වචනයෙන් පිරිසිදු බවය (කාමාදි) ආශ්රවයන් නැත්තාවූ සිතින් පිරිසිදු බවය ඉතා පිරිසිදුවූ පිරිසිදු සම්පත්තියෙන් යුක්තවූ සියලු (අකුසල්) පහකරන්නාවූ පවිත්ර භාවයයි කියත්යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.
3. 2. 8.
8. මොනෙය්ය සූත්රය
මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
67. “මහණෙනි, මේ මුනිභාවයෝ තිදෙනෙක් වෙත්, කවර තිදෙනෙක්ද යත්? කායද්වාරයෙහි පැවැති මුනීන්ට සිත ප්රතිපදාවය වාග්ද්වාරයෙහි පැවැති මුනීන්ට හිත ප්රතිපදාවය මනොද්වාරයෙහි පැවති මුනීන්ට හිත ප්රතිපදාවය (යන තුණය) මහණෙනි මේ වනාහි තුන් මුනී භාවයෝයයි.”
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ මෙසේ අර්ථය කියනු ලැබේ.
“කායද්වාරයෙහි මෙලෝ පරලෝ දෙකට හා තමහටද පරහටද හිත ප්රතිපදාව දන්නාවූ වාග්ද්වාරයෙහි ප්රතිපදාව දන්නාවූ මනොද්වාරයෙහි ප්රතිපදාව දන්නාවූ මුනීහු ආශ්රව රහිතවූ මුනිභාවයෙන් යුක්තවූ මනාකොට සෝදන ලද ප්රතිපදාව කියත්යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.
3. 2. 9.
9. (පළමුවන) රාග සූත්රය
මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
68. “මහණෙනි, යම් කිසිවකු රාගය පහ නොකරන ලද්දේ වේද, ද්වේෂය පහ නොකරන ලද්දේ වේද, මෝහය පහ නොකරන ලද්දේ වේද, මහණෙනි මේ තෙමේ (ක්ලේශ) මාරයා විසින් බඳනා ලද්දේ යයිද මාරපාස යයි කියන ලද ක්ලෙශය ඇතුල් කරවන ලද්දේ යයිද (නොහොත්) මාරයාගේ පුඩුව දැඩි වූයේ වන්නේ යයිද, පව් ඇති මාරයා විසින් කැමැතිසේ කටයුත්තෙක් වන්නේයයිද කියනු ලැබේ.
“මහණෙනි, යම් කිසිවෙකුගේ රාගය ප්රහීණ වූයේවේද, ද්වේෂය ප්රහීනවූයේ වේද, මෝහය ප්රහීණවූයේ වේද, මහණෙනි, මෙතෙමේ මාරයා විසින් නොබඳනා ලද්දේයයිද, ක්ලෙශමාරයාගේ පුඩුව ඉවත් කරන ලද්දේයයිද, මාරයා විසින් කැමැතිසේ නොකට යුත්තක් වන්නේයයිද කියනු ලැබේ යයි.”
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක, එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“යම් ආර්ය පුද්ගලයෙකු විසින් රාගයද ද්වේෂයද අවිද්යාවද (අග්රමාර්ගයෙන් නිරුද්ධ කරන ලද්දාහුද, වැඩුණු කාය ශීල චිත්ත ප්රඥාවන් ඇති රහතුන් අතුරෙහි ඇතුළත්වූ ශ්රේෂ්ඨවූ හෝ ශ්රේෂ්ඨ අර්හත්ඵලයට පැමිණියාවූ හෝ නිවන අවබෝධ කළාවූ එසේ අවබෝධ කළාවූ එසේ දැනගත්තාවූ එසේ දුටුවාවූ එසේ කිරීමට අනුරූපව කියන්නාවූද කීමට සුදුසු නියායෙන් කරන්නාවූද චතුස්සත්යය අවබෝධ කළාවූ (පුද්ගලයන්ගේ) වෛරයද ක්ලෙශ වෛරයද ආත්මවාදානු වාදාදී භයද ඉක්මවූ හැම ක්ලෙශ රැ ස්කිරීම් පහකළාවූ ඒ ආර්යයා බුද්ධාදී ආර්යයෝ කියත් යයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.
3. 2. 10.
10. (දෙවෙනි) රාග සූත්රය
මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
69. “මහණෙනි, යම්කිසි මහණෙකුගේ හෝ මෙහෙණකගේ හෝ රාගය පහ නොවූයේ වේද, ද්වේෂය පහ නොවූයේවේද, මෝහය පහ නොවූයේ වේද, මහණෙනි, මෙතෙමේ බලවත් ක්රොධ නමැති මහරළ ඇත්තාවූ පස්කම් ගුණ නමැති දිය සුළි ඇත්තාවූ ස්ත්රීන් නමැති සැඩ මෝරමසුන් ඇත්තාවූ ස්ත්රීන් නමැති දිය රකුසන් ඇත්තාවූ සසර නමැති මුහුද තරණය නොකළේයයි කියනු ලැබේ.
“මහණෙනි, යම්කිසි මහණෙකු විසින් හෝ මෙහෙණක විසින් හෝ රාගය පහකරණ ලද්දේ වේද, ද්වේෂය පහ කරන ලද්දේ වේද මෝහය පහකරණ ලද්දේ වේද, මහණෙනි, මෙතෙමේ බලවත් ක්රොධ නමැති මහරළ ඇත්තාවූ පස්කම් ගුණ නමැති දියසුළි ඇත්තාවූ ස්ත්රීන් නමැති සැඩ මෝරමසුන් ඇත්තාවූ ස්ත්රීන් නමැති දිය රකුසන් ඇත්තාවූ සසරනැමැති සමුද්රය තරණය කළේයයිද එහෙයින්ම බැහැර කරණ ලද පව් ඇති බ්රහ්මණ තෙමේ සිටීයයිද කියනු ලැබේයයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යමෙකු විසින් රාගයද ද්වේෂයද අවිද්යාවද නොපැවැත්ම කරණ ලද්දාහු වෙද්ද, හෙතෙම ස්ත්රීන් නැමැති (සැඩ මෝර මසුන් සහිතවූ ස්ත්රීන් නමැති දිය රකුසන් සහිතවූ (ක්රොධ නමැති ඉතා බිය වියයුතු රළ ඇත්තාවූ එතරවීමට දුෂ්කරවූ මේ (සසර නමැති) මුහුද ඉක්මවීය. කෙලෙස් මාරයා දුරු කළාවූ (කාමාදි) උපධි රහිතවූ හෙතෙම නැවත නොඋපදනා පිණිස දුක පහ කෙළේය. අස්තයට ගියාවූ එබඳු රහත් තෙමේ ප්රමාණයට නොපැමිණෙයි. (මරුවා) මුලාකරවී යයි කියමියි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.
පුණ්ය ක්රියා වර්ගය නිමි.
එහි උද්දානය (මාතෘකා):
පින්කිරියවත්, චක්ඛු, ඉන්ද්රිය, අද්ධා, දුච්චරිත, සුචරිත, සොචෙය්ය, මොනෙය්ය හා රාග සූත්ර දෙක ද යන මේවායින් දෙවන වර්ගය උතුම් යැයි කියත්.