3. 2. 3.
3. ඉන්ද්‍රිය සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
62. “මහණෙනි, මේ (අධිපති අර්ථයෙන්) ඉන්ද්‍රියයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුනෙක්ද යත්? අනඤ්ඤාතඤ්ඤාස්සාවින්ද්‍රිය නම්වූ සොතාපත්ති මාර්ග ප්‍රඥාව හෝ ඉන්ද්‍රියය, අඤ්ඤීන්ද්‍රිය නම්වූ සොතාපත්ති ඵලඤාණයෙහි පටන් අර්හත්මාර්ගඥානය තෙක් සය තන්හිවූ ඤාණය, අඤ්ඤාතාවින්ද්‍රිය නම්වූ අර්හත්ඵල ප්‍රඥාවය (යන තුනය) මහණෙනි, මේ වනාහි තුන් ඉන්ද්‍රියයෝ වෙත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සෘජු මාර්ගයවූ ආර්ය මාර්ගයට පිළිවෙලින් පැමිණෙන්නාවූ හැම කෙලෙස් පහකරන බැවින් ක්ෂය නම් අග්‍රමාර්ගයෙහි නුවණ පළමුව (උපදී) ඒ පළමු මාර්ගයට අනතුරුව අර්හත්ත්වය අනුව යන්නාහට ගොත්‍රභූඥානයට අනතුරුව සොතාපත්ති මාර්ගයෙහි පළමු ඥානයවූ අනඤ්ඤාතඤ්ඤස්සාවීන්ද්‍රියය (උපදී) ඒ පළමු ඥානයට අනතුරුව පටන් අග්‍රමාර්ගයතෙක් අන්‍යවූ අඤ්ඤීන්ද්‍රියය (උපදී.)
“ඒ අඤ්ඤීන්ද්‍රියයෙන් පසුව අඤ්ඤතාවීන්ද්‍රියයෙන් මිදුනාවූ එකසමානවූ ක්ෂීණාශ්‍රවයාහට භවසංයෝජනයන් ක්ෂයකිරීම හේතුකොට මාගේ විමුක්ති තොමෝ කොප්‍ය නොවන්නීය. (නොනැසෙන්නී) යයි ප්‍රත්‍යවෙක්ෂා ඥානය වේ.
“ඉදින් ඉඳුරන්ගෙන් සම්පූර්ණවූ පඤ්චෙන්ද්‍රියයෙන් යුක්තවූ සන්සිඳුනු නිර්වාණපදයෙහි ඇලුනාවූ ක්ෂීණාශ්‍රවතෙමේ සේනා සහිත මාරයා ජයගෙන අන්තිම ශරීරය දරායයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.
3. 2. 4.
4. අද්ධා සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
63. “මහණෙනි, මේ කාල තුණෙක් වෙත්. කවර තුණෙක්ද යත්? අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය (යන තුණය) මහණෙනි, මේ වනාහි තුන් කාලයෝ වෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සත්වයෝ අක්ඛෙය්‍ය නම්වූ පඤ්චස්කන්ධය කෙරෙහි සංඥා ඇත්තෝ වෙත්. පඤ්චොපාදානස්කන්ධයෙහි පිහිටියාහුය. පඤ්චොපාදානස්කන්ධය ත්‍රිවිධ දැනීමෙන් නොදැන මාරයාගේ උපායට පැමිණෙති.
“පඤ්චොපාදානස්කන්ධයද (විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් පිරිසිඳ දැනීමෙන් ආත්මයක් නොමදනී. විමොක්ෂ යයිද සන්තිපදයයිද උතුම් නිර්වාණ ධර්මය සිතින් ස්පර්ශ කෙළේ පැමිණියේ වෙයි. ආර්ය මාර්ගය තෙමේ විමොක්ෂ නම් වෙයි. (ඒ ක්ෂීණාශ්‍රවයා විසින් මාර්ග සිතින් නිරුත්තරවූ නිර්වාණ පදය ප්‍රත්‍යක්ෂ කරණ ලද්දේවේ.
ඒකාන්තයෙන් පඤ්චොපාදානස්කන්ධයන් පිරිසිඳ දැනීමෙන් උපන් සම්පත්තීන් යුක්තවූ කෙලෙස් සන්සිඳුනාවූ ශාන්තිපද නම්වූ නිවනෙහි ඇලුනාවූ නුවණින් සලකා සේවනය කරන දැන සෙවනය කරන (අශෛක්ෂ ධර්මයන්හි පිහිටියාවූ සිටියාවූ පරතෙරට ගියාවූ ඒ රහත්තෙම ගණනට නොපැමිණේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.
3. 2. 5.
5. දුච්චරිතත්තය සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
64. “මහණෙනි, මේ අයහපත්වූ හෝ දුෂ්ටවූ හෝ හැසිරීම් තුණෙකි. කවර තුණෙක්ද යත්? කයින් වැරදි හැසිරීමය, වචනයෙන් වැරදි හැසිරීමය, සිතින් වැරදි හැසිරීමය (යන තුණය.) මහණෙනි, මේ වනාහි තුන් දුසිරිතියි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
(“යම්) මෝඩයෙක් වේද, හෙතෙම කයින් දුශ්චරිත (පව්) ද වචයෙන් පව්ද සිතින් පව්ද කොට දෝෂ යයි දක්නා ලද්දාවූ යම් අන්‍යවූ වරදෙක් (ඇද්ද) එයද කොට
කුශල කර්ම නොකොට බොහෝ අකුශල් කොට ශරීරයාගේ බිඳීමෙන් නරකයෙහි උපදී.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.
3. 2. 6.
6. සුචරිතත්තය සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
65. “මහණෙනි, මේ මනා හැසිරීම් සොඳුරු චරිත තුණෙකි. කවර තුණෙක්ද යත්? කයින් මනා හැසිරීමය වචනයෙන් මනා හැසිරීමය සිතින් මනා හැසිරීමය (යන තුණය) මහණෙනි, මේ වනාහි තුන් සුසිරි වෙත්යයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“(යම්) නුවණැත්තෙක් වේද, හෙතෙමේ කයින් හෝ කායද්වාරයෙහි පැවති දුශ්චරිත (පව්) ද වචනයෙන් හෝ වාග් ද්වාරයෙහි පැවති දුශ්චරතයෙන් ද සිතින් හෝ මනොද්වාරයෙහි පැවති දුශ්චරිතද හැරපියා වරදයයි දක්නා ලද්දාවූ (එයද) හැරපියා
අකුශල කර්ම කොට බොහෝ කුසල් නොකොට ශරීරය බිඳීයාමෙන් (මරණින් මත්තෙහි) ස්වර්ගයෙහි උපදී. (නොහොත්) ස්වර්ගයට උත්පත්ති වශයෙන් පැමිණේ යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යයි. මාගේ ඇසීමය.”