3. 1. 9.
9. තෘෂ්ණා සූත්‍රය
58. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ තෘෂ්ණා තුනක් වෙත්. කාමතෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යන තුනය. මහණෙනි, මේ වනාහි තෘෂ්ණා තුනයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“තෘෂ්ණා නම් යොගයෙන් භවයොගයෙන්ද බැඳුනාවූ ඇලුණු සිත් ඇත්තාවූ මාරයාගේ මලපුඩුවේ බැඳුනාවූ උපදවන්නාවූ ඒ පුද්ගලයෝ නිර්භයවූවාහු නොවෙති. “ඉපදීමට හා මරණයට පැමිණෙනසුලුවූ (ඒ) සත්වයෝ සසරට යෙති.
යම් සත්වකෙනෙක් වනාහි තෘෂ්ණාව පහකොට ලොකු කුඩා භවයෙහි තෘෂ්ණාව නැත්තාහු වෙද්ද, යම්කෙනෙක් ආශ්‍රව ක්ෂය සංඛ්‍යාත අර්හත්ඵලයට පැමිණියාහු වෙද්ද, ඒ සත්වයෝම එතරට (නිවණට) ගියාහු වෙත් යයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 10.
10. මාරධෙය්‍ය සූත්‍රය
59. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, කරුණු තුනකින් යුත් මහණතෙමේ මාරයාට යටත් පෙදෙස ඉක්මවා හිරුමෙන් බබළයි. කවර කරුණු තුනකින්ද යත්? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ අශෛක්ෂවූ (මතුමත්තෙහි නොහික්මිය යුතු බැවින්) අශෛක්ෂයනට අයත්වූ ශීලරාශියෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සමාධි රාශියෙන් යුක්තවූයේ වේද අශෛක්ෂ ප්‍රඥා රාශියෙන්ද යුක්තවූයේ වේද,
මහණෙනි, මේ කරුණු තුනෙන් වනාහි යුක්තවූ මහණතෙමේ මාරයාට අධිපති තැන මැඩ හිරුසේ බබළායයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් රහත් පුද්ගලයෙකු විසින් ශීලයද සමාධියද ප්‍රඥාවද යන මේ අශෛක්ෂ ධර්මයෝ නොකොට වඩන ලද්දාහුද (හෙතෙම) මාරයාට යටත් පෙදෙස ඉක්මවා හිරුමෙන් බබළා යයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
මාරධෙය්‍ය වර්ගය නිමි.
එහි උද්දානය:
මූල, ධාතු, වෙදනා, එසනා දෙකක් ද, ආසව දෙකක් ද, තණ්හා සහ මාරධෙය්‍ය ද යන මෙයින් උතුම් වූ පළමු වර්ගය යැයි කියති.
2. පුණ්‍යක්‍රියා වර්ගය
3. 2. 1.
1. පුණ්‍යක්‍රියා සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
60. “මහණෙනි, මේ පින් කිරියවත් තුනෙකි. කවර තුනෙක්ද යත්? දානමය පුණ්‍යක්‍රියාවස්තුවය. ශීලමය පුණ්‍යක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුවය, මහණෙනි, මේ වනාහි තුන් පින් කිරියවතියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“හෙතෙමේ මත්තෙහි අග්‍රවූ හෝ මත්තෙහි උතුම්වූ හෝ අතිශයින් අග්‍රවූ හෝ මනොඥ ඵලයෙන් අග්‍රවූ හෝ සැප විපාක ඇති පිනම රැස්කරන්නේය. දානයද චරියාවවූ ශීලයද මෙත් සිතද වඩන්නේය.
සප්‍රාඥතෙම සුව අනුසස් ඇති මේ කුසල ධර්ම තුන වඩා නිදුක්වූ සුවවූ බඹ ලොවට උත්පත්ති වශයෙන් පැමිණේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.
3. 2. 2.
2. චක්ෂුස් සූත්‍රය
මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යයි මා විසින් අසන ලදී.
61. “මහණෙනි, මේ ඇස් තුනෙකි. කවර තුනෙක්ද යත්? මසැසය දිවැසය නුවණ ඇසය. මහණෙනි, මේ වනාහි ඇස්තුනයයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“පුරුෂයනට උතුම්වූ සම්මාසම්බුද්ධයන් වහන්සේ මසැසය, (ප්‍රකෘතියෙන් පිහිටි ඇස) දිවැසය, නිරුත්තරවූ නුවණ ඇසය (යන) මේ ඇස්තුන වදාළසේක.
“මසැසගේ ඉපදීම දිවැසට උපාය හෙවත් කරුණු වේ. යම්කලෙක්හි ඥානය පළවේද, යම් නුවණැසකගේ ලැබීමෙන් සියලු සසර දුකින් මිදේද, ඒ නුවණ ඇස නිරුත්තර වේයයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මා විසින් මෙසේ අසන ලදී.