3. 1. 3.
3. වේදනාත්තය සූත්රය
52. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ වේදනාවෝ තුන්දෙනෙක් වෙති. කවර තුන්දෙනෙක්ද යත්? සැප වේදනාවය, දුක් වේදනාවය, උපෙක්ෂා වේදනාවය (යන තුනය.) මහණෙනි, මේ වනාහි ත්රිවිධ වේදනාවෝ වෙත්යයි”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“බුදුරජුන්ගේ මනාකොට දන්නාවූ සිහි ඇත්තාවූ ශ්රාවකතෙමේ වේදනාවන්ද වේදනාවන්ගේ ඉපදීමද වේදනාවෝ මෙතෙකැයිද විශේෂයෙන් දනී.
“යම් අරමුණෙක්හි වේදනාවෝ නිරුද්ධ වෙද්ද, වේදනාවන් ක්ෂය කිරීමට පමුණුවන්නාවූ (ආර්ය) මාර්ගයද දනී. (රහත්) මහණ තෙම වේදනාවන්ගේ ක්ෂය කිරීමෙන් (ප්රහීණවූ) තෘෂ්ණාව ඇත්තේ ක්ලෙශපරිනිර්වාණයෙන්ද ස්කන්ධපරිනිර්වාණයෙන්ද පිරිනිවියේ වේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 4.
4. දට්ඨබ්බ වේදනා සූත්රය
53. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ වේදනා තුනක් වෙත්. කවර තුනක්ද යත්? සැප වේදනාවය, දුක් වේදනාවය, උපෙක්ෂා වේදනාවය.
මහණෙනි, සැප වේදනා තොමෝ දුක් වශයෙන් දතයුත්තීය. දුක් වේදනා තොමෝ උලයයි දතයුත්තීය. උපෙක්ෂා වේදනා තොමෝ අනිත්ය වශයෙන් දතයුත්තීය. “මහණෙනි, යම් කලෙක්හි හෝ යම්හෙයකින් මහණහු විසින් සැප වේදනා තොමෝ දුක් වශයෙන් දක්නා ලද්දී වේද, දුක් වේදනා තොමෝ උල් වශයෙන් දක්නාලද්දී වේද, උපෙක්ෂා වේදනා තොමෝ අනිත්ය වශයෙන් දක්නා ලද්දී වේද, මහණෙනි, මේ මහණතෙමේ (කෙලෙසුන්ගෙන්) දුරුව සිටියේය. මනාකොට දක්නාසුලුය, තෘෂ්ණාව සින්දේය. සංයෝජනය මුල් නැත්තක් කෙළේය. මානයාගේ දැකීමෙන්ද දුරුකිරීමෙන්ද සංසාර දුඃඛය කෙළවර කෙළේ යයි කියනු ලැබේ යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ආර්ය ශ්රාවකයෙක් සුඛ වේදනාව දුක් වශයෙන් දිටීද, දුක්ඛ වේදනාව උල්වශයෙන් දිටීද, ශාන්තවූ ඒ උපෙක්ෂා වේදනාව අනිත්ය වශයෙන් දිටීද,
“යම් හෙයකින් ඒකාන්තයෙන් මනාකොට දක්නා සුලුවූ ඒ මහණතෙමේ ඒ වේදනාවෙහි මිදේද, ඉර්ධි විධාදී අභිඥාසයින් අවසන් කළාවූ සන්සිඳවූ ඒ මුනිතෙමේ ඒකාන්තයෙන් යොගයන් ඉක්මවූයේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 5.
5. එසනා සූත්රය
54. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ සෙවීම් තුනක් වෙත්. කවර තුනක්ද යත්? කාමයන්ගේ සෙවීමය, භවයන්ගේ සෙවීමය, බ්රහ්මචරියාවගේ සෙවීමය (යනතුන වෙත්.)
“මහණෙනි, මේ සෙවීම් තුන වෙත්යයි මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“එකඟ සිත් ඇත්තාවූ සම්යක් ප්රඥාව ඇත්තාවූ සිහි ඇත්තාවූ බුද්ධ ශ්රාවකතෙම සෙවීම්ද සෙවීම් ඉපදීමට හේතුවූ අවිද්යාදීන්ද දනීද,
“යමෙකුගේ මේ සෙවීම් නිරුද්ධ වෙද්ද, සෙවීම් ක්ෂය කිරීමට පමුණුවන මාර්ගයද විශේෂයෙන් දනීද, මහණ තෙම සෙවීම් ක්ෂයවීමෙන් තෘෂ්ණාව නැත්තේ පිරිනිවියේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 6.
6. (දෙවන) එසනා සූත්රය
55. මේ කරුණ භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ සෙවීම් තුනක් වෙති. කවර තුනක්ද යත්? කාමයන් සෙවීමය භවයන් සෙවීමය, බඹසර සෙවීමය (යන තුනය) මහණෙනි, මේ වනාහි සෙවීම් තුනයයි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ කරුණ මෙසේ කියනු ලැබේ.
“බඹසර සෙවීම සමග කාමයන් සෙවීමය භවයන් සෙවීමය මෙසේ වරදවා ගන්නාවූ සියලු අනර්ථ දෘෂ්ටීහු
සියලු රාගයෙන් නොඇලුනාවූ තෘෂ්ණා ක්ෂය සංඛ්යාත නිර්වාණයෙහි මිදුණු (රහත්) හු විසින් සෙවීම පහකරන ලද්දීය. බ්රහ්මචරිය පරියෙසනායයි කියන ලද (මිථ්යා) දෘෂ්ටීහු සහමුලින් නසන ලද්දාහුය. සෙවීම ක්ෂය වීමෙන් (යොගීතෙමේ) බිඳදැමූ කෙලෙස් ඇත්තේ වේ. ආශ්රවයන් නැත්තේවේ. කෙසේදෝ කෙසේදෝ (පැවැති) සැකය නැත්තේ වේයයි”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.