3. 1. 1.
1. අකුසල මූල සූත්‍රය
50. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ අකුසල්මුල් තුනක් වෙත්. කවර තුනක්ද යත්? ලෝභය අකුසල් මුලෙක, ද්වේෂය අකුසල් මුලෙක, මෝහය අකුසල් මුලෙක. මහණෙනි, මේ වනාහි අකුසල් මුල් තුන වෙත් යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“තමා කෙරෙහි උපන් ලෝභයද ද්වේෂයද මෝහයද පොත්ත හරයකොට ඇතිඋණ බටාදීගස් ස්වකීය පීදීම මෙන් ලාමක සිත් ඇති පුද්ගලයා මත්තෙහි විපාක අවස්ථාවෙහි පෙළත් යයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 2.
2. ධාතුත්තය සූත්‍රය
51. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ ධාතු තුනක් වෙත්. කවර තුනක්ද යත්? රූප ධාතුවය (රූපභවය) අරූප ධාතුවය (අරූපභවය) නිරෝධ ධාතුවය (නිර්වාණය) යන තුන වෙත්. මහණෙනි, මේ වනාහි තුන් ධාතුහු වෙත්යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් කෙනෙක් රූපය පිළිබඳ ධර්මප්‍රවෘත්තිය දැන අරූපාවචර ධර්මයන්හි නොපිහිටියාහු වෙද්ද, යම් කෙනෙක් නිවණෙහි මිදෙද්ද, ඒ රහතුන් වහන්සේ මරණය ඉක්මවූවාහු වෙති.
“ආශ්‍රවයන් නැත්තාවූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ නාම කයින් ස්කන්ධාදී උපාධිරහිතවූ (නැවත ඉපදීමට හේතුවන දේ නැති) නිර්වාණ ධාතුවට පැමිණ (ඒ ස්කන්ධාදී සියලු උපධීන්ගේ දුරලීමට කරුණු ප්‍රත්‍යක්ෂ කොට ශොක නැත්තාවූ කෙලෙස් නැත්තාවූ නිර්වාණ පදය දෙසූසේකැයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 3.
3. වේදනාත්තය සූත්‍රය
52. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ වේදනාවෝ තුන්දෙනෙක් වෙති. කවර තුන්දෙනෙක්ද යත්? සැප වේදනාවය, දුක් වේදනාවය, උපෙක්ෂා වේදනාවය (යන තුනය.) මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ වේදනාවෝ වෙත්යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“බුදුරජුන්ගේ මනාකොට දන්නාවූ සිහි ඇත්තාවූ ශ්‍රාවකතෙමේ වේදනාවන්ද වේදනාවන්ගේ ඉපදීමද වේදනාවෝ මෙතෙකැයිද විශේෂයෙන් දනී.
“යම් අරමුණෙක්හි වේදනාවෝ නිරුද්ධ වෙද්ද, වේදනාවන් ක්ෂය කිරීමට පමුණුවන්නාවූ (ආර්ය) මාර්ගයද දනී. (රහත්) මහණ තෙම වේදනාවන්ගේ ක්ෂය කිරීමෙන් (ප්‍රහීණවූ) තෘෂ්ණාව ඇත්තේ ක්ලෙශපරිනිර්වාණයෙන්ද ස්කන්ධපරිනිර්වාණයෙන්ද පිරිනිවියේ වේයයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 1. 4.
4. දට්ඨබ්බ වේදනා සූත්‍රය
53. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ සේකැයි මා විසින් අසන ලදී.
“මහණෙනි, මේ වේදනා තුනක් වෙත්. කවර තුනක්ද යත්? සැප වේදනාවය, දුක් වේදනාවය, උපෙක්ෂා වේදනාවය.
මහණෙනි, සැප වේදනා තොමෝ දුක් වශයෙන් දතයුත්තීය. දුක් වේදනා තොමෝ උලයයි දතයුත්තීය. උපෙක්ෂා වේදනා තොමෝ අනිත්‍ය වශයෙන් දතයුත්තීය. “මහණෙනි, යම් කලෙක්හි හෝ යම්හෙයකින් මහණහු විසින් සැප වේදනා තොමෝ දුක් වශයෙන් දක්නා ලද්දී වේද, දුක් වේදනා තොමෝ උල් වශයෙන් දක්නාලද්දී වේද, උපෙක්ෂා වේදනා තොමෝ අනිත්‍ය වශයෙන් දක්නා ලද්දී වේද, මහණෙනි, මේ මහණතෙමේ (කෙලෙසුන්ගෙන්) දුරුව සිටියේය. මනාකොට දක්නාසුලුය, තෘෂ්ණාව සින්දේය. සංයෝජනය මුල් නැත්තක් කෙළේය. මානයාගේ දැකීමෙන්ද දුරුකිරීමෙන්ද සංසාර දුඃඛය කෙළවර කෙළේ යයි කියනු ලැබේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ආර්ය ශ්‍රාවකයෙක් සුඛ වේදනාව දුක් වශයෙන් දිටීද, දුක්ඛ වේදනාව උල්වශයෙන් දිටීද, ශාන්තවූ ඒ උපෙක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දිටීද,
“යම් හෙයකින් ඒකාන්තයෙන් මනාකොට දක්නා සුලුවූ ඒ මහණතෙමේ ඒ වේදනාවෙහි මිදේද, ඉර්ධි විධාදී අභිඥාසයින් අවසන් කළාවූ සන්සිඳවූ ඒ මුනිතෙමේ ඒකාන්තයෙන් යොගයන් ඉක්මවූයේයයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.