2. 2. 2.
2. දේශනා ද්වය සූත්‍රය
39. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, තථාගත නම්වූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පිළිවෙළක් අනුව ඇති දහම් දෙසුන් දෙකක් වෙත්. කවර දෙකෙක්ද යත්? පාප ධර්මය ලාමක වශයෙන් දකිව්යයි මෝතොමෝ පළමුවන ධර්ම දේශනාවය. පව පව් වශයෙන් දැක ඒ පවෙහි කලකිරෙවු, නොඇලෙවු, මිදෙවුයයි මෝ තොමෝ දෙවන දහම් දෙසුමය. “මහණෙනි, අර්හත්වූ මනාව අවබෝධ කළාවූ තථාගතයන් වහන්සේගේ මේ දහම් දෙසුන් දෙකක් පිළිවෙළක් අනුව ඇත්තේ වෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “අනුකම්පා කරන සුලුවූ තථාගතවූ සර්වඥ බුදුරජාණන් වහන්සේගේ කාරණයෙන් හෝ වාරයෙන් දෙසීම බලව, ධර්මයෝ දෙදෙනෙක් ප්‍රකාශ කරන ලද්දාහුය.
3. “පව (පව් වශයෙන්) දකිවු. (යනු) එක් දෙසුමෙකි. ඒ පවෙහිද නොඇලෙවු, ඒ පවෙහි නොඇලුණු සිත් ඇත්තාවූ (තෙපි) දුක් කෙළවර කරන්නාහුය යනු දෙවන දෙසුමයයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 3.
3. අවිජ්ජාපුබ්බංගම සූත්‍රය
40. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, අකුශල ධර්මයනට අවිද්‍යාතොමෝ පෙරදැරි වන්නීය, (අවිද්‍යාවගේ) පැමිණීමට අනුවම පවට ලජ්ජා නැතිබවද පවෙහි බිය නැති බවදවේ. “මහණෙනි කුශලධර්මයනට විද්‍යාතොමෝ වනාහි පූර්වංගමවේ. (විද්‍යාවගේ) පැමිණීමට අනුවම හිරිඔතප් (ලජ්ජා භය) දෙක වේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “මේ ලෙව්හිද පරලෙව්හිද දූෂිතවූ යම්කිසි මේ ගතීහු වෙද්ද, විෂයයන් සෙවීම ලක්ෂණකොට ඇති ඉච්ඡාවෙන් හා සම්ප්‍රාප්ත විෂයයෙහි ඇලීම ලක්‍ෂණ කොට ඇති ලෝභයෙන්ද රැස්කරනලද්දාවූ සියලු විපත් අවිද්‍යාව මුල්කොට ඇත්තීය.
3. “යම් අවිද්‍යා හේතුවකින් වනාහි ලාමක අදහස් ඇති මහණතෙම පාපයට ලජ්ජා නැත්තේ වේද, ඒ හේතුවෙන් පව් රැස්කෙරෙයි. ඒ පාපය හේතුකොට අපායට යෙයි.
4. “එහෙයින් ඡන්දයද ලෝභයද අවිද්‍යාවද පහකරන්නාවූ අර්හත් මාර්ගඥානය උපදවන්නාවූ මහණතෙම දුශ්චරිත සංඛ්‍යාත සියලු දුර්ගතීන් නොහොත් සසර දුකට පිහිට වන බැවින් සියලු පඤ්චගතීන් දුරුකරන්නේයයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
පළමු බණවරයි.
2. 2. 4.
4. අරියපඤ්ඤා සූත්‍රය
41. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, යම් සත්ව කෙනෙක් ආර්ය ප්‍රඥාවෙන් පිරිහුනෝ නම් ඒ සත්වයෝ අතිශයින් පිරිහුනෝ වෙති. ඒ සත්වයෝ මේ ආත්මයෙහිම පීඩා සහිතව දැඩි ආයාස සහිතව හාත්පස දාහ සහිතව දුකසේ වෙසෙති. තමාගේයයි සිතාගත් ස්කන්ධයන්ගේ භෙදයෙන් මරණින් මත්තෙහි දුගතියක් කැමති විය යුත්තීය. “මහණෙනි, යම් සත්වකෙනෙක් ආර්ය ප්‍රඥාවෙන් නොපිරිහුනෝ වෙද්ද, ඒ ස්කන්දයෝ මේ අත්බවෙහිම පීඩානැතිව දැඩි ආයාස නැතිව හාත්පස දැවිලි නැතිව සුවසේ වෙසෙති. ශරීරයාගේ භෙදයෙන් චුති චිත්තයන් මත්තෙහි සුගතියක් කැමති විය යුත්තීයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි ගාථාවෙන් මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “පිරිහීමෙන් නාමරූප දෙක්හි උපාදානස්කන්ධය පසෙහි පිහිටියාවූ දෙවියන් සහිත ලෝවැස්සා බලව, මෙයම සත්‍යය හඟී.
3. “සංස්කාර ලෝකයෙහි යම් ප්‍රඥාවක් තොමෝ පළමින් යන සුලුවේද, යම් ප්‍රඥාවකින් ඉපදීම හා භවයද ක්ෂය කරන්නාවූ නිවන මනාව දැන ගනීද, ඒ මාර්ග ප්‍රඥා තොමෝ ශ්‍රේෂ්ඨ වන්නීමය.
4. “දෙවියෝද මිනිස්සුද මනාව අවබෝධකළාවූ සිහි ඇත්තාවූ සන්තොෂප්‍රමෝද්‍ය බහුල ප්‍රඥාව ඇත්තාවූ (නොහොත්) විපුලභාවයට පැමිණි හාස ප්‍රඥාව ඇත්තාවූ අන්තිම ශරීරය දරණ ක්ෂීණාශ්‍රවයන්ට ප්‍රියවෙත්. (ඒ රහත් බව ලබන්නට කැමැති වෙත්.) යයි”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 2. 5.
5. සුක්කධම්ම සූත්‍රය
42. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී යැයි මා විසින් අසන ලදී.
1. “මහණෙනි, මේ ශුක්ලධර්මයෝ දෙදෙනෙක් සත්ව ලෝකය රකිත්. කවර දෙදෙනෙක්ද යත්? පවට ලජ්ජාවද පවට භයද (යන දෙකය.) “මහණෙනි, මේ කුසල් දහම් දෙක මේ ලොව නොරක්නාහු නම් මේ සත්ව ලෝකයෙහි මවයයි කියා හෝ කුඩා මව යයි කියා හෝ නැන්දනියයි කියා හෝ ආචාර්යයන්ගේ භාර්යාවයයි කියා හෝ ගරුකටයුත්තන්ගේ බිරියයි කියා හෝ නොපෙණෙන්නේය. එළු තිරෙළුවෝද කුකුළු ඌරෝද බලු සිවල්ලුද යම්සේද ලෝවැස්සා (එපරිද්දෙන්) සංකරයට සීමා භෙදයට හෝ පැමිණෙන්නේය. “මහණෙනි, යම් හේතුවකින් වනාහි මේ අනවද්‍ය ධර්මයෝ දෙදෙන ලොව රකිද්ද, එහෙයින් මවයයි කියාද කුඩා මවයයි කියාද නැන්දනීයයි කියාද ඇදුරු බිරියයයි කියාද ගරුකටයුත්තන්ගේ අඹුවයයි කියාද, පෙණෙන්නේ යයි.”