1. 1. 7.
සර්ව සූත්‍රය
7. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, සර්වය නොදන්නේ පිරිසිඳ නොදන්නේ ඒ මනාව දතයුතු විශේෂයෙහි නොඇලෙන්නේ පහනොකරන්නේ දුඃඛය ක්ෂය කරනු පිණිස (නිවන් පිණිස) සමර්ථ නොවේ. මහණෙනි, සියලුම සක්කායදෘෂ්ටිය දන්නේ පිරිසිඳ දන්නේ එහි සිත නොඇලෙන්නේ පහකරන්නේ නිර්වාණය පිණිස සමර්ථ වේ”යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “යම් යොගාවචරයෙක් තෙමේ සියලු ධර්ම සමූහය සියලු අයුරෙන් අවබෝධකොට සියලු සක්කාය ධර්මයන්හි නොඇලේද, ඒ ආර්යතෙමේ සියල්ල පිරිසිඳ දැනීමෙන් ඒකාන්තයෙන් සියලු (සසර) දුක ඉක්මවීය”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.
1. 1. 8.
මාන සූත්‍රය
8. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, මානය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ ඒ මානයෙහි සිත නොඇලෙන්නේ පහනොකරන්නේ දුක් ක්ෂය කිරීමට සමර්ථ නොවේ. මහණෙනි, මානයද විශිෂ්ට ඥානයෙන් දන්නේ පිරිසිඳ දන්නේ ඒ මාන නොඋපදවන්නේ පහකරන්නේ දුක් ගෙවීමට සමර්ථ වේ”යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “ප්‍රජායයි ලද නම් ඇති මේ සත්ව සමූහය මානයෙන් යුක්තවූවාය. මානයෙන් ගැටගැසුනීය, භවයෙහි ඇලුනීය, මානය පිරිසිඳ නොදන්නාවූ සත්වයෝ නැවත භවයට පැමිණෙන්නාහ. යම් රහත් කෙනෙක් වනාහි මානය පහකොට මානයාගේ අතිශයින් ක්ෂයවූ නිවනෙහි මනාව මිදුනාහුද, මාන බැම්ම මුලින් සිඳීමෙන් මැඩසිටියාවූ ඒ රහත්හු සියලු සංසාර දුක්ඛය ඉක්මවූහ”යි
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේයයි මා විසින් අසන ලද්දේයි.
1. 1. 9.
රාග සූත්‍රය
9. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය වදාරන ලද්දේමය, කෙලෙස් නැසූ (බුදුන් වහන්සේ විසින්) වදාරන ලද ධර්මය මා විසින් මෙසේ අසන ලදී.
1. මහණෙනි, ලෝභය විශේෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි චිත්තසන්තානය නොඅලවන්නේ දුරුනොකරන්නේ දුක් ක්ෂය කිරීම (නිවන්) පිණිස අසමර්ථවේ. මහණෙනි, ලෝභයද විශිෂ්ට ඥානයෙන් දන්නේම පිරිසිඳ දන්නේ එහි (තමාගේ) සිත නොඅලවන්නේ දුරු කරන්නේ දුඃඛක්ෂයය පිණිස සමර්ථවේ.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ: