4. 2 බ්රාහ්මණකන්යා භික්ෂුණීන්ගේ අපදානය
13. “අසූහාර දහස් වරක් බ්රාහ්මණ කුලයෙහි උපන්නාහු මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ හමුවීමට පෙරම සියුමැලි අත් පා ඇත්තියෝ වීමු.
14. “මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේට පෙරාතුවම වෛශ්ය, ශුද්ර කුලයන්හි උපන්නාහු සිව් දිවයිනෙහි දිව්ය, නාග, කින්නර, බොහෝ කන්යාවෝ වීමු.
15. “කිසිවෙක් පැවිදිවූවාහු වෙති. බොහෝ දෙන සත්ය දක්නාහුද වෙති. මතු කාලයෙහි දෙවියෝද, කිඳුරෝද, නාගයෝද සත්යාවබෝධය කෙරෙත්.
16. “සියළු යසස් අනුභවකොට, සියළු සම්පත්ද ලබා, ඔබ කෙරෙහි පැහැදීම ලැබුවාහු, මතු කාලයෙහි සත්යාවබෝධය කෙරෙති.
17. “පසැස් ඇත්තාවූ බුදුරජාණන් වහන්ස, බමුණු කුලයෙහි උපන්, බමුණු දූවරුන්වූ අපි අපගේ හමුයෙහිදී ඔබ වහන්සේගේ පා වඳිමු.
18. “සියළු භවයෝ නසන ලදහ. තෘෂ්ණාව මුල් සහිතව වනසන ලදහ. අනුශයයෝ සමුඡ්ඡේදය කරන ලදහ. පුණ්ය සංස්කාරයෝ පලා දමන ලදහ.
19. “අපි හැම කල්හි සියලු සමාධීන් ගෝචරකොට ඇත්තාහු එසේම සමාපත්තීන්හි වශීවූවාහු, එසේම ධ්යානයෙන්ද, ධර්මරතියෙන්ද යුතුව වසන්නෙමු.
20. “භව තෘෂ්ණාවද, අවිද්යාවද, සංස්කාරයෝද, ගෙවන ලදහ. ලෝක නායකයන් වහන්ස, නිර්වාණ පදයට යාම සඳහා අනුදැන වදාළ මැනවි.
21. “තෙපි මට බොහෝ උපකාර ඇත්තෝය. බොහෝ කාලයක් මුළුල්ලෙහි කරන ලද කුසල් ඇත්තෝය. බොහෝ දෙනාගේ සැක හැර සියල්ලෝ පරිනිර්වාණයට යෙත්වා.
22. “ඇතැම් භික්ෂුණීහු බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැඳ, එකවිට කරුණු දෙකක් සිදුවන ඎද්ධීන් කොට ආලෝකය දක්වත්. යලි අන්ධකාරය දක්වත්.
23. “සඳු හිරු දක්වත්. මත්ස්යයන් සහිතවූ සාගරය දක්වත්. හාත්පස පර්වතයන් සහිත සිනෙරු පර්වතයද, පරසතු රුකද දක්වත්.
24. “ඎද්ධියෙන් තව්තිසා භවනයද, යාමයද, තුසිතයද, මහත් ඵෙශ්චර්ය්ය ඇති පරනිර්මිත වසවර්ති දෙවියන්ද දක්වත්.
25. “කිසිවෙක් බ්රහ්මයන්ද, මාහැඟි සක්මනක්ද දක්වත්. බඹ වෙසක් මවාගෙන නිර්වාණ ධර්මයද දෙසත්.
26. “නොයෙක් පුදුම ඎද්ධීන් කොට ශාස්තෲන් වහන්සේට ඎද්ධිය දක්වා සියළු භික්ෂුණීහු බල දැක්වූහ. ශාස්තෲන් වහන්සේගේ පා වැන්දහ.
27. “මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්ය ශ්රොතධාතු ඥානයෙහිද වශීවෙමු. චෙතොපරියඥානයාගේද වශීවෙමු.
28. “පෙර විසූ කඳ පිළිවෙළ දනිමු. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්රවයෝ ක්ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
29. “මහා වීරයන් වහන්ස, අර්ත්ථ, ධර්ම, නිරුක්තීන්හිද, එසේම ප්රතිභාණයෙහිද අපගේ ඥානය ඔබ වහන්සේ සමීපයෙහිදී උපන්නේය.
30. “පෙර බුදුවරුන් හා එක්වීම අප දක්වන ලදී. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ සඳහා අපගේ පින්කම් බොහෝය.
31. “මුනීන්ද්රයන් වහන්ස, අප විසින් කරන ලද යම් කුශල කර්මයක් වේ නම් එය සිහිකළ මැනව. මහා වීරයන් වහන්ස, අප විසින් ඔබ පිණිස පින් රැස් කරන ලදී.
32. “මින් සියක් දහස්වන කපෙහි පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කුල නගරය වූයේ හංසවතී නම් පුරයයි.
33. “හංසවතී නගර වාරයෙන් හැම කල්හි ගඞ්ගාවක් ගලා බසී. එම භික්ෂූහු ගඟෙහි කරදරයට පැමිණියාහු ගමන නොලබත්.
34. “දෙතුන් දිනක්ද, සතියක්ද, මාසයක්ද, යලි සිව් වසකුදු සම්පූර්ණ විය. ඔවුහු ගමන නොලබත්.
35. “එකල්හි එරට වැසිවූ ජටිල නම් උතුම් තැනැත්තෙක් විය. කරදරවූ භික්ෂූන් දැක ගඟෙහි ගෙයක් කරවීය.
36. “එකල්හි ලක්ෂයකින් ගඟෙහි ගෙයක් කරවීය. මෙතෙරෙහි සංඝයාට විහාරයක්ද කරවීය.