2. 3 මොදක දායිකාපදානය.
31. “මම බන්ධුමතී නගරයෙහි දිය අදිනා දාසියක් වීමි. මාගේ (අහාර) කොටසද ගෙන දියට යන්නේ,
32. “මම මාර්ගයෙහිදී ශාන්තවූ සන්හුන් ශ්රමණයෙකු දැක පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා, අග්ගලා තුණක් දුනිමි.
33. “මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්රණිධීන් කරණකොටගෙනද, මම එක් අනූ කපක් දුගතියකට නොගියෙමි.
මම ඒ සම්පත් සිදුකොට සියල්ල අනුභව කරමි. අග්ගලා තුණක් දී අචලවූ පදයට (නිවනට) පැමිණියෙමි.
34. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි. 35. “ඒකාන්තයෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී. 36. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් මොදකදායිකා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මොදකදායිකාථේරියාපදානං තතියං.
2. 4 එකාසන දායිකාපදානය.
37. “එකල්හි (මම) හංසවතී නගරයෙහි බාලිකාවක් වීමි. මාගේ මවද, පියාද යන ඒ දෙදෙනා කර්මාන්තයට ගියාහුය.
38. “මම හිරු මැදහත් (ඉර මුදුන්) වේලෙහි වීථියෙහි ගමන් කරන්නාවූ ශ්රමණයෙකු දුටිමි. (දැක) මම අසුනක් පැණවීමි.
39. “මම දික් ලොම් ඇති මහ කොඳු පලස්ද, ව්යාල චිත්ර ඇති එළු ලොම් ඇතිරිද යන මේ ආදියෙන් අසුනක් පණවා පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා මෙම වචනය කීමි.
40. “හිරු මුදුනෙහි සිටියේය. භූමි තොමෝ රත්වූවා, කැකෑරී ගියාය. වාතයද නොහමත්. මෙහි (විවේකයට සුදුසු) කාලයද එළඹ සිටියේය.
41. “මහාමුනීන් වහන්ස, මේ පණවන ලද ආසනය ඔබ වහන්සේ සඳහාය. අනුකම්පාව උපදවා මාගේ අසුනෙහි වැඩහිඳිනු මැනව.”
42. “මැනවින් දමනයවූ පිරිසිදු සිත් ඇති ශ්රමණතෙමේ එහි වැඩ හුන්සේක. මම උන්වහන්සේගේ පාත්රය ගෙන (කිසිවක් නොමැති බැවින්) හිස්වූ ලෙසම (ආපසු) දුනිමි.
43. “මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්තප්රණිධීන් කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
44. “එහි මට මනාකොට කරණ ලද විමානය ආසනයකින්ද යුතුව මැනවින් නිර්මිත කරණ ලදී. (එය) සැට යොදුනක් උසය. තිස් යොදුනක් පුළුල්ය.