1. 4 සඞ්කමනත්ථාපදානය
31. “සත්ත්වයන් (සසර සයුරින්) තරණය කරන්නාවූ, විථියට පිළිපන්නාවූ, ලොවට දෙටුවූ, (අට ලෝ දහම්හි නොසැලෙන බැවින්) තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට,
32. “මම ගෙදරින් නික්ම (අවුත්) කිබිසිනිව හෙවත් මුනින් වැටී (හෙයක් ලෙසින් පාගාගන යාම සඳහා) පූජාවක් කෙළෙමි. අනුකම්පා ඇති බුදුරජතෙම මාගේ කෙස්වැටිය පෑගීය.
33. “ලෝක නායකයන් වහන්සේ (එසේ) කෙස්වැටිය පාගාගන වැඩිය සේක. එම චිත්තප්රසාදය කරණකොටගෙන මම තුසිත දිව්ය ලෝකයෙහි උපනිමි.
34. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
35. “ඒකාන්තයෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
36. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් සඞ්කමනත්ථා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සඞ්කමනත්ථාථේරියාපදානං චතුත්ථං.
1. 5 නළමාලිකාපදානය
37. “එකල්හි මම චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරියක් වීමි. (එහිදි) සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් ජයගත්තාවූ, කෙළෙස් රජස් රහිතවූ නොහොත් කාමයන්හි නොඇළුනාවූ බුදුරජුන් දුටිමි.
38. “මම පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා, හටගත් ප්රීති ඇත්තී, බඳැඳිලි ඇත්තී බට මලක් ගෙන බුදුරජුන්හට පිදීමි.
39. “මැනවින් කරණලද එම කර්මය කරණකොටගෙන දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. සක් දෙව් රජුන් සතිස් දෙනෙකුගේ මෙහෙසි බව කෙළෙමි.
40. “සක්විති රජුන් දස දෙනෙකුගේද මෙහෙසි බව කෙළෙමි. (ඉක්බිති) මාගේ සිත සංවේගයට පත්ව, අනගාර්ය්ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
41. “මින් පෙර සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
42. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි. සියළු ආශ්රවයන් ක්ෂය කරණ ලදී. දැන් නැවත භවයක් නැත.
43. “මාගේ ක්ලේශයෝ දවන ලදහ ... පෙ ... සියළු භවයෝ නසන ලදහ.
44. “ඒකාන්තයෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
45. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් නළමාලිකා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නළමාලිකාථේරියාපදානං පඤ්චමං.
1. 6 එකපිණ්ඩපාත දායිකාපදානය
46. “බන්ධුමතී නගරයෙහි බන්ධුම නම් ක්ෂත්රියයෙක් විය. මම යම් (ඒ) රජකෙනෙකුගේ භාර්ය්යාව වීම්ද (එම රජු හා) එක් සිත් ඇතිව හැසිරෙමි.
47. “එකල්හි මම රහසිගතව හිඳ මෙසේ සිතීමි. මා විසින් කරණලද (මැරෙනවිට) ගෙන යා යුතු කුශලයක් නැත.
48. “(මෙසේ ඇති කල්හි) මහත් තැවුල් ඇති, කටුකවූ, ඝොර ස්වරූප ඇති, ඉතා දරුණුවූ නිරයට ඒකාන්තයෙන්ම යමි. මෙහි මාගේ සැකයෙක් නැත” (කියායි.)
49. “මෙසේ සිතා රජු වෙත එළඹ මෙසේ කීමි. “රජතුමනි, මට එක ශ්රමණයන් වහන්සේ නමක් දෙනු මැනව. උන්වහන්සේ වළඳවන්නෙමි” යි (කියායි.)
50. “මහරජතෙම මට වඩනලද ඉඳුරන් ඇති ශ්රමණයන් වහන්සේ නමක් දුන්නේය. (මම) උන්වහන්සේගේ පාත්රය ගෙන උතුම්වූ ආහාරයෙන් පිරවීමි.
51. “මම උතුම්වූ ආහාරය පුරවා, සුවඳද ගැල්වීමි. දහසක් වටිනා වස්ත්ර දෙකකින්ද වැසීමි.