1. 2 මේඛලා දායිකාපදානය
20. “මම සිද්ධාර්ත්ථ බුදුරජුන්ගේ ස්තූපය කරවන්නියක් වීමි. ශාස්තෲන් වහන්සේගේ සෑයෙහි නවකම් පිණිස මා විසින් මෙවුල් දමක් (ආපසු ගැනීම සඳහා) දෙන ලදි.
21. “මහසෑය නිමවූ කල්හි මම යලිත් එම මෙවුල්දම පහන් සිත් ඇත්තී, සියතින්ම ලෝනාවූ බුදුරජුන් උදෙසා (පූජා බුද්ධියෙන්) දුනිමි.
22. “මින් පෙර සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් මෙවුල් දමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ස්තූප කරණයෙහි මේ විපාකයයි.
23. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
24. “ඒකාන්තයෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
25. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් මෙඛලාදායිකා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මෙඛලාදායිකාථේරියාපදානං දුතියං.
1. 3 මණ්ඩපදායිකාපදානය
26. “කෝණාගමන බුදුරජුන්හට මා විසින් මණ්ඩපයක් කරවන ලදී. ලොවට හිතවූ බුදුරජුන්හට නිතර (නියමිත වාරයන්හිදී) තුන් සිවුරු දුනිමි.
27. “නියම්ගමය, රජදහන්ය යන යම් යම් දනව්වකට යෙම්ද, (ඒ) හැමතන්හි පුදන ලද්දී වෙමි. පුණ්යකර්මයාගේ මේ විපාකයයි.
28. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
29. “ඒකාන්තයෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
30. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් මණ්ඩකදායිකා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මණ්ඩපදායිකාථේරියාපදානං තතියං.
1. 4 සඞ්කමනත්ථාපදානය
31. “සත්ත්වයන් (සසර සයුරින්) තරණය කරන්නාවූ, විථියට පිළිපන්නාවූ, ලොවට දෙටුවූ, (අට ලෝ දහම්හි නොසැලෙන බැවින්) තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට,
32. “මම ගෙදරින් නික්ම (අවුත්) කිබිසිනිව හෙවත් මුනින් වැටී (හෙයක් ලෙසින් පාගාගන යාම සඳහා) පූජාවක් කෙළෙමි. අනුකම්පා ඇති බුදුරජතෙම මාගේ කෙස්වැටිය පෑගීය.
33. “ලෝක නායකයන් වහන්සේ (එසේ) කෙස්වැටිය පාගාගන වැඩිය සේක. එම චිත්තප්රසාදය කරණකොටගෙන මම තුසිත දිව්ය ලෝකයෙහි උපනිමි.
34. “මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්රව රහිතව වෙසෙමි.
35. “ඒකාන්තයෙන් බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්රිවිද්යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
36. “සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.”
මෙහි මේ අයුරින් සඞ්කමනත්ථා භික්ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සඞ්කමනත්ථාථේරියාපදානං චතුත්ථං.
1. 5 නළමාලිකාපදානය
37. “එකල්හි මම චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරියක් වීමි. (එහිදි) සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් ජයගත්තාවූ, කෙළෙස් රජස් රහිතවූ නොහොත් කාමයන්හි නොඇළුනාවූ බුදුරජුන් දුටිමි.
38. “මම පහන් සිත් ඇත්තී, සොම්නස්වූවා, හටගත් ප්රීති ඇත්තී, බඳැඳිලි ඇත්තී බට මලක් ගෙන බුදුරජුන්හට පිදීමි.
39. “මැනවින් කරණලද එම කර්මය කරණකොටගෙන දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. සක් දෙව් රජුන් සතිස් දෙනෙකුගේ මෙහෙසි බව කෙළෙමි.
40. “සක්විති රජුන් දස දෙනෙකුගේද මෙහෙසි බව කෙළෙමි. (ඉක්බිති) මාගේ සිත සංවේගයට පත්ව, අනගාර්ය්ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.