8. 2. 9. 9.
පටිසාරණීයකම්ම සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම කරන්නේය. කවර අටකින්ද යත්:
ගිහියන්ට අලාභය පිණිස තැත් කෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් කෙරේද, ගිහියන්ට නින්‍දා පරිභව කෙරේද, ගිහියන් ගිහියන් හා භෙද කෙරේද, බුදුන්ට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, ගිහින්ගේ ධාර්මිකවූද පොරොන්දුව සත්‍ය නොකෙරේද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම කරන්නේය.
“මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය. කවර කරුණු අටකින්ද යත්:
ගිහියන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට නින්‍දා පරිභව නොකෙරේද, ගිහියන් ගිහියන් හා භෙද නොකෙරේද, බුදුන්ගේ ගුණ කියාද, ධර්මයේ ගුණ කියාද, සංඝයාගේ ගුණ කියාද, ගිහියන්ගේ ධාර්මිකවූද පොරොන්දුව සත්‍ය කෙරේද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට සංඝ තෙමේ කැමැත්තේ නම් ප්‍රතිස්මරණීය (සිහිකරවීමේ) දඬුවම සන්සිඳුවන්නේය.
8. 2. 9. 10.
තස්සපාපිය්‍යසිකා සම්මාවත්තන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, “පාපිය්‍යසිකා” නම් විනය කර්මය කරණු ලැබූ භික්‍ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය. “උපසම්පදා නොකළ යුතුය. ආශ්‍රය නොකළ යුතුය. සාමණේරවරු උපස්ථාන නොකළ යුතුය. භික්‍ෂුණීන්ට අවවාද දීමේ සම්මුතිය බාර නොගත යුතුය. සම්මතවූවද, භික්‍ෂුණීන්ට අවවාද නොදිය යුතුය. කිසිම සංඝ සම්මතයක් භාර නොගත යුතුය. කිසිම වෙන් තැනෙක තැබිමක් නොකළ යුතුය. ඒ මුලින් නොනැගිටවිය යුතුය.
මහණෙනි, “පාපිය්‍යසිකා” නම් විනය කර්මය කරණු ලැබූ භික්‍ෂුව විසින් කරුණු අටක මනාව පැවතිය යුතුය.
නව වන සති වර්‍ගය නිමි.
එහි උද්දානය:
සති, පුණ්ණිය, මූල, චෝර, පස්වන අධිවචන ද, නාගිත, පත්ත, අප්පසාද, පටිසාරණීය සහ වත්තන (සූත්‍රය) ද වෙයි.
10. සාමඤ්ඤවග්ගො
91-116. 1 - 27 සූත්‍ර
එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක.
එකල්හි බොජ්ඣා උපාසිකාව -පෙ- සිරිමා - පදුමා - සුතනා - මනුජා - උත්තරා - මුත්තා - ඛේමා - සෝමා - රුචි - චුන්දී රාජකුමාරිය - බිම්බී උපාසිකාව - සුමනා රාජකුමාරිය - මල්ලිකා දේවිය - තිස්සා උපාසිකාව - තිස්සාගේ මව - සෝණා - සෝණාගේ මව - කාණා - කාණාගේ මව - උත්තරා නන්දමාතා - විසාඛා මිගාරමාතා - ඛුජ්ජුත්තරා උපාසිකාව - සාමාවතී උපාසිකාව - කෝලිය දියණිය වූ සුප්පවාසා - සුප්පියා උපාසිකාව - නකුලමාතා ගෘහපතිනිය -පෙ-
සාමඤ්ඤවග්ගො දසමො.
දුතියො පණ්ණාසකො සමත්තො.