8. 2. 6. 8.
දුතිය ආහුනෙය්ය භික්ඛු සූත්රය
[සැවැත් නිදානයි]
මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්ෂුව ආහුනෙය්ය වෙයි ...පෙ... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙයි. කවර අටකින් ද යත්:
“කිනම් අටකින්ද යත්? “මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙම සිල්වත් වේද... බහුශ්රුත වේද... පටන්ගත් වීර්ය්ය ඇත්තෙක් වේද... ප්රාන්ත සේනාසන භජනය කරණ, ආරඤ්ඤිකාඞ්ගය රක්නෙක් වේද... උපන් නොඇලීම මැඩ වාසය කරයි... උපන් බිය හා භයානක අරමුණ මැඩ සිටී. යහපත් පෙනීමෙන් යුත් සම්යක් දෘෂ්ටිකයෙක් වේද... ධ්යාන සතර පහසුවෙන් ලබන්නේ වේද... නානා ප්රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි... ඔහු විසින් මේ පළමුවෙනි විද්යාව ලදී... මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්වයින් දකී... ඔහු විසින් මේ දෙවෙනි විද්යාව ලදී... සත්ත්වයන්ගේ ආශ්රවක්ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි... ඔහු විසින් මේ තුනවෙනි විද්යාව ලබන ලද්දීය... මහණෙනි, මේ කරුණු අටින් යුක්තවූ මහණ තෙම ආහුනෙය්ය වෙයි... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙයි.
8. 2. 6. 9.
උජුභූත අට්ඨපුග්ගල සූත්රය
[සැවැත් නිදානයි]
මහණෙනි, ආහුණෙය්යවූ, පාහුණෙය්යවූ, දක්ෂිණාර්හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රවූ මේ පුද්ගලයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක්ද යත්?
සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, රහත් පුද්ගලයාය, රහත් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනා ආහුනෙය්ය වෙති ...පෙ... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙති.
1. මාර්ගයට පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි පිහිටි සතර දෙනද යන මේ සංඝ තෙමේ ප්රඥාවෙන් හා ශීලයෙන් සමාහිත වූයේ, ඍජු වූයේ වේ.
2. පින් කැමැතිවූ, උපධි සහිත (භවයට හේතුවන) පින් කරන්නාවූ, යාග කරන්නාවූ මනුෂ්ය ප්රාණීන්ට සංඝයා කෙරෙහි දෙන දෙය මහත් ඵල වේ.
8. 2. 6. 10.
සමුක්කට්ඨ අට්ඨපුග්ගල සූත්රය
[සැවැත් නිදානයි]
මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනෙක් ආහුනෙය්ය වෙති ...පෙ... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙති. කවර අට දෙනෙක්ද යත්: සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය ...පෙ... රහත් පුද්ගලයාය, රහත් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය. මහණෙනි, මේ අට දෙනා වූ පුද්ගලයෝ ආහුනෙය්ය වෙති ...පෙ... ලෝකයාට අනුත්තර පුණ්යක්ෂේත්රය වෙති.
1. පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි පිහිටි සතර දෙනද, යන අෂ්ටාර්ය්ය පුද්ගල කෙනෙක් වෙත්ද, මේ සංඝ තෙමේ සත්ත්වයන්ට උත්කෘෂ්ට වේ.
2. පින් කැමැතිවූ, උපධි සහිත පින් කරන්නාවූ, යාග කරන්නාවූ මනුෂ්ය ප්රාණීන්ට මෙහි (මේ සංඝයා කෙරෙහි) දෙන දෙය මහත් ඵල වේ.
ගොතමී වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
ගොතමී, ඕවාද, සංඛිත්ත, දීඝජානු, උජ්ජය, භය, ආහුනෙය්ය දෙකක් ද, අට්ඨපුග්ගල දෙකක් දැයි මෙහි සූත්ර දහයකි.