8. 2. 6. 10.
සමුක්කට්ඨ අට්ඨපුග්ගල සූත්‍රය
[සැවැත් නිදානයි]
මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙනෙක් ආහුනෙය්‍ය වෙති ...පෙ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වෙති. කවර අට දෙනෙක්ද යත්: සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය ...පෙ... රහත් පුද්ගලයාය, රහත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය. මහණෙනි, මේ අට දෙනා වූ පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙති ...පෙ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වෙති.
1. පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි පිහිටි සතර දෙනද, යන අෂ්ටාර්‍ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, මේ සංඝ තෙමේ සත්ත්‍වයන්ට උත්කෘෂ්ට වේ.
2. පින් කැමැතිවූ, උපධි සහිත පින් කරන්නාවූ, යාග කරන්නාවූ මනුෂ්‍ය ප්‍රාණීන්ට මෙහි (මේ සංඝයා කෙරෙහි) දෙන දෙය මහත් ඵල වේ.
ගොතමී වර්‍ගය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
ගොතමී, ඕවාද, සංඛිත්ත, දීඝජානු, උජ්ජය, භය, ආහුනෙය්‍ය දෙකක් ද, අට්ඨපුග්ගල දෙකක් දැයි මෙහි සූත්‍ර දහයකි.
7. චාපාල වර්‍ගය
8. 2. 7. 1.
ලාභිච්ඡා සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ අට දෙනෙක් විද්‍යාමාන වෙති. කවර අට දෙනෙක්ද යත්:
1. මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස ගැටෙයි. වෑයම් කරයි. නැගිටියි. ලාභය පිණිස ගැටෙන්නාවූ, වෑයම් කරන්නාවූ, නැගිටින්නාවූ, ඔහුට ලාභය නූපදියි. හෙතෙම ඒ අලාභයෙන් ශෝකවෙයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත ගසා හඬයි. සිහි මුළා බවට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි. හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.
2. මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. ඔහුට ලාභය උපදියි. හෙතෙම ඒ ලාභයෙන් මත්වෙයි. විශේෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ලාභයට ආශා ඇතිව වාසය කෙරේද, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය ඇති මදය හෙවත් ලාභයෙන් මත් ගතිය ඇති, ප්‍රමාදය ඇති ඔහුට ලාභය නූපදියි. හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.
3. මහණෙනි, මේ ශාසනයෙහි උසස් විවේකයෙන් යුතු, නිදහස් පැවතුම් ඇති භික්‍ෂුවට ලාභය ලැබීම පිණිස අදහසක් උපදියි. හෙතෙම ලාභය පිණිස නොනැගිටියි. නොගැටෙයි. වෑයම් නොකරයි. ලාභය පිණිස නොනැගිටින්නාවූ, නොගැටෙන්නාවූ, වෑයම් නොකරන්නාවූ, ඔහුට ලාභය නූපදියි. ලාභය පිණිස නොනැගිටීද, නොගැටේද, වෑයම් නොකෙරේද, ලාභය නැති, ශෝක ඇති, වැළපීම් ඇති, ලාභය පිණිස නැගිටීද, ගැටේද, වෑයම් කෙරේද, ලාභය නොලබන්නේ ශෝක කෙරෙයි. වැළපෙයි. හෙතෙම සද්ධර්මයෙන් හෙවත් ශාසනයෙන්ද චුතවූයේයයි කියයි.