8. 2. 6. 1.
ගොතමී සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය:
“ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි.
“ගොතමිය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.”
දෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය.
“ගොතමිය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.”
තුන්වෙනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය.
“ගොතමිය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.”
ඉක්බිති මහා ප්‍රජාපතී ගොතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදේයයි දුක්වූවා, සිත නරක් වූවා, කඳුළු පිරුණු ඇසින් යුක්තව, බුදුන් වැඳ ප්‍රදක්‍ෂිණා කොට ගියාය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර කැමතිතාක් කල් වැස, විශාලා මහනුවර යම් තැනෙක්හිද, එහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ, විශාලා මහනුවර යම් තැනෙක්හිද, එහි විසූහ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක.
ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ හිසකෙස් සිඳුවා, කසට වස්ත්‍ර හැඳ, බොහෝ ශාක්‍ය ස්ත්‍රීන් සමග, විශාලා මහනුවර යම් තැනෙක්හිද, එහි වැඩි සේක. අනුක්‍රමයෙන් විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද, එහි පැමිණියාය.
ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින්, ධූලි වැකුණු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කඳුළු පිරුණු ඇස් ඇත්තී, අඬමින් දොරටුවෙන් පිටත සිටියාය. ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඉදිමුණු පා ඇතිව, ධූලි වැකුණු අවයව ඇතිව, දුක්වූ, සිත නරක්වූ, කඳුළු පිරුණු මූන ඇතිව, අඬමින් දොරටුවෙන් පිටත සිටි මහා ප්‍රජාපතී ගොතමිය දැක, මහා ප්‍රජාපතී ගෝතමියට මෙය වදාළේය:
“ගොතමිය, නුඹ ඉදිමුණු පා වලින්, ධූලි වැකුණු අවයවවලින්, දුක්වූවා, සිත නරක්වූවා, කඳුළු පිරුණු ඇස් ඇත්තී, අඬමින් දොරටුවෙන් පිටත කුමක් නිසා සිටින්නෙහිද?”
“ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, එසේමය. භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදෙති”
“ගොතමිය, එසේ වී නම් යම්තාක් මම ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි පැවිද්ද ඉල්වම්ද, ඒතාක් මෙසේම ඈත්ව සිටින්නැ” යි කීසේක.
ඉක්බිති, ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ:
“ස්වාමීනි, මේ මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින්, ධූලි වැකුණු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කඳුළු පිරුණු ඇස් ඇත්තී, අඬමින් දොරටුවෙන් පිටත සිටියාය, ‘භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදෙති’ යි.”