8. 1. 4. 2.
2. සප්පුරිසානුයාතධම්ම සූත්රය
[සාවත්ථිනිදානං]
“මහණෙනි, ශ්රද්ධාවෙන් දෙන දානයද, (අපකීර්තියට) ලජ්ජාවෙන් දෙන දානයද, කුශල චේතනාවෙන් දෙන දානයද, යන මේ දාන ධර්මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කළාහුය. මේ දන්දීම දෙව්ලොවට පමුණුවන්නාවූ (කුශල ධර්මයක්යයි) කියත්. ඒ දානමය කුශල ක්රියාවෙන් දෙව් ලොවට යේ.”
8. 1. 4. 3.
3. අට්ඨදානවත්ථු සූත්රය
[සාවත්ථිනිදානං]
“මහණෙනි, මේ දාන වස්තූහු අටෙක් වෙත්. කවර අටෙක්ද යත්?
ඡන්දයෙන් (ප්රේමයෙන්) දන්දෙයි. ද්වේෂයෙන් දන්දෙයි. මෝහයෙන් දන්දෙයි. ගර්හාවට දන්දෙයි. පියමුතු පරම්පරාවෙහි දී පුරුදුය, කළ පුරුදුය, පුරාණ කුල සිරිත පිරිහෙලන්නට නුසුදුසුයයි දන්දෙයි. ‘මම මේ දානය දී ශරීරයාගේ බිඳීයාමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමි’ යි දන් දෙයි. මේ දානය දෙන්නාවු මාගේ සිත පහදී, සිත පැහැදීමෙන් සොම්නස උපදීයයි දන්දෙයි. සමථ විදර්ශනාදී සිත මෘදු කිරීම පිණිස, අලංකාර කිරීම පිණිස දන්දෙයි. මහණෙනි, මේ දාන වස්තූහු අටෙක් වෙත්.
8. 1. 4. 4.
4. ඛෙත්තූපම සූත්රය
[සාවත්ථිනිදානං]
“මහණෙනි, අඞ්ග අටකින් යුක්තවූ කෙතෙහි වපුරණ ලද බීජය ධාන්ය ඵල වශයෙන් මහත්ඵල නොවේ. මහත්වූ ආශ්වාදය නොවේ. අභිවෘද්ධියක්ද නොවේ. කෙසේ අඞ්ග අටකින් යුක්තවූයේද යත්?
“මහණෙනි, මෙහි කෙතෙහි වල ගොඩැලි ඇත්තේ වෙයි. ගල් බොරළු ඇත්තේද වෙයි. ජල බහුලවූයේද වෙයි. නගුලෙන් හාන්නට නොහැකිවූ තද භූමිය ඇත්තේද වෙයි. ජලය පමුණුවා ගැනීම දුෂ්කරවූයේද වෙයි. ජලය බැසයාම දුෂ්කරවූයේද වෙයි. (සෑහෙන ප්රමාණ) ලොකු කුඩා වේලි (දිය කානු) නැත්තේද වෙයි. (යොග්යවූ) නියරවල් නැත්තේද වේ. මහණෙනි, මෙසේ අෂ්ටාඞ්ගයෙන් යුක්තවූ කෙතෙහි වපුරණ ලද බීජය ධාන්ය ඵල වශයෙන් මහත්ඵල නොවේ. මහත්වූ ආශ්වාදය නොවේ. වී වැඩීමෙන් අභිවෘද්ධියක්ද නොවේ.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි අෂ්ටාඞ්ග සමන්විතවූ මහණ බමුණන් විෂයෙහි දෙන ලද දානය මහත්ඵල නොවේ. මහානිශංස නොවේ. මහත්වූ ප්රභාවයක් නොවේ. මහත්වූ පතළවීමක් නොවේ.
“කෙසේ අෂ්ටාඞ්ග සමන්විතවූ මහණ බමුණන් විෂයෙහිද යත්? මහණෙනි, මේ ලෝකයෙහි ශ්රමණ බ්රාහ්මණයෝ මිසදිටුවෝ වෙත්. මිත්ථ්යා අදහස් ඇත්තෝ වෙත්. මුසාවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයෙන් යුක්තවූවෝ වෙත්. ප්රාණඝාතාදී ත්රිවිධ කාය දුශ්චරිතයෙන් යුක්තවූවෝ වෙත්. පවිටුවූ ජීවිකා වෘත්ති ඇත්තාහු වෙත්. පවිටුවූ ව්යායාම් ඇත්තාහු වෙත්. පවිටුවූ සිත් ඇත්තාහු වෙත්. පාප අරමුණුවලින් එකඟවූ සිත් ඇත්තාහු වෙත්. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි අෂ්ටාඞ්ග සමන්විතවූ මහණ බමුණන් විෂයෙහි දෙන ලද දානය මහත්ඵල නොවේ. මහානිශංස නොවේ. මහත්වූ ප්රභාවයක් නොවේ. මහත්වූ පතළවීමක් නොවේ.
“මහණෙනි, (අන්යවූ) අෂ්ටාඞ්ගයකින් යුක්තවූ කෙතෙහි වපුරණ ලද බීජය මහත්ඵල වේ. මහත්වූ ආශ්වාදය වේ. වී වැඩීමෙන් අභිවෘද්ධිය වේ. කෙසේවූ අෂ්ටාඞ්ගයෙන් යුක්තවූ කෙතෙහිද යත්?
“මහණෙනි, මෙහි කෙත වල ගොඩැලි රහිත වෙයි. ගල් බොරළු රහිත වෙයි. ජල බහුල නොවෙයි. ගැඹුරට හාන්නට හැකිවූ මෘදුවූ බිම වෙයි. ජලය පමුණුවා ගැනීම සුකරවූයේ වෙයි. ජලය බැසයාම සුකරවූයේ වෙයි. සෑහෙන ප්රමාණ ලොකු කුඩා දිය වේලි ඇත්තේ වෙයි. (යොග්යවූ) නියරවල් ඇත්තේ වේ. මහණෙනි, මෙසේ අෂ්ටාඞ්ගයෙන් යුක්තවූ කෙතෙහි වපුරණ ලද බීජය ධාන්ය ඵල වශයෙන් මහත්ඵල වේ. මහත්වූ ආශ්වාදය වේ. වී වැඩීමෙන් අභිවෘද්ධිය වේ.