8. 1. 3. 4.
මහාපරිස හත්‍ථකාලවක සූත්‍රය
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව්නුවර අග්ගාලව චේතිය විහාරයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි හත්‍ථක ආලවකයා පන්සියයක් පමණ උපාසකවරුන් පිරිවරණ ලදුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ හත්‍ථක ආලවකයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“හත්‍ථකය, තාගේ මේ පිරිස විශාලය. හත්‍ථකය, තා මේ විශාල පිරිස කෙසේ සංග්‍රහ කෙළේද?” “ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සතර සංග්‍රහ වස්තුවක් දේශනා කරණ ලදද, මම එයින් මේ විශාල පිරිස සංග්‍රහ කරමි. “ස්වාමීන් වහන්ස, මම යමෙකු ගැන මොහු දානයෙන් සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට දානයෙන් සංග්‍රහ කරමි. යමෙකු ගැන මොහු ප්‍රිය වචනයෙන්සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරමි. යමෙකු ගැන මොහු අර්ත්‍ථචරියාවෙන් (වැඩ කටයුතු ගැන උපකාර කිරීමෙන්) සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට අර්ත්‍ථචරියාවෙන් සංග්‍රහ කරමි. යමෙකු ගැන මොහු සමානාත්මතායෙන් සංග්‍රහ කළ යුතුයයි දනිම්ද, ඔහුට සමානාත්මතායෙන් සංග්‍රහ කරමි. ස්වාමීන් වහන්ස, මාගේ නිවසෙහි භෝග සම්පත් ඇත්තාහ. (එහෙයින්) දිළින්දෝ වනාහි අපගේ අවවාදය පිළිගතයුතු යයි හඟිත්.”
“යහපති, යහපති හත්ථකය. හත්ථකය, මහත් පිරිසක් සංග්‍රහ කර ගැනීමට (එක් කර ගැනීමට) මෙය ඔබගේ උපායයි. හත්ථකය, අතීත කාලයෙහි යම් කිසි කෙනෙක් මහත් පිරිසක් සංග්‍රහ කළාහු නම්, ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තුවෙන්ම මහත් පිරිස සංග්‍රහ කළාහුය. හත්ථකය, අනාගත කාලයෙහිද යම් කිසි කෙනෙක් මහත් පිරිසක් සංග්‍රහ කරන්නාහු නම්, ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තුවෙන්ම මහත් පිරිස සංග්‍රහ කරන්නාහුය.
හත්ථකය, දැන්ද යම් කිසි කෙනෙක් මහත් පිරිසක් සංග්‍රහ කරත් නම්, ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තුවෙන්ම මහත් පිරිස සංග්‍රහ කරත්.” ඉක්බිති හත්ථක ආළවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, සතුටු කරන ලද්දේ, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියේය.
ඉක්බිති හත්ථක ආළවකයා ගොස් නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, හත්ථක ආළවකයා ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම අටකින් යුක්ත වූවෙකැයි සිතෙහි දරා ගනිව්. ඒ කවර අටකින්ද යත්:
මහණෙනි, හත්ථක ආළවකයා ශ්‍රද්ධාවන්තයෙකි. මහණෙනි, හත්ථක ආළවකයා සිල්වතෙකි. මහණෙනි, හත්ථක ආළවකයා පවට ලජ්ජා ඇත්තෙකි. මහණෙනි, හත්ථක ආළවකයා පවට බිය ඇත්තෙකි. මහණෙනි, හත්ථක ආළවකයා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. මහණෙනි, හත්ථක ආළවකයා ත්‍යාගවන්තයෙකි. මහණෙනි, හත්ථක ආළවකයා ප්‍රඥාවන්තයෙකි. මහණෙනි, හත්ථක ආළවකයා අල්පේච්ඡයෙකි (ලද දෙයින් සතුටු වන, ආශා අඩු කෙනෙකි). මහණෙනි, හත්ථක ආළවකයා මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම අටින් යුක්ත වූවෙකැයි සිතෙහි දරා ගනිව්.”