8. 1. 3. 10.
අනුරුද්ධ සුත්තං
30. “එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ භගු ජනපදයෙහි වූ, සුංසුමාරගිර, භෙසකලාවන මෘගදායෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ චෙතිය රට ප්රාචීන වංශදායෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි රහසිගතව, විවේකීව වාසය කරන්නාවූ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ සිතෙහි මෙබඳුවූ මහා පුරුෂ විතර්කයක් උපන්නේය:
“මේ ධර්මය, අල්පෙච්ඡයාටය. මේ ධර්මය, මහා තෘෂ්ණා ඇත්තාහට නොවේ. මේ ධර්මය, ලද දෙයින් සතුටු වන්නාටය. මේ ධර්මය, ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. මේ ධර්මය, ප්රකර්ෂ විවේක ඇත්තාහටය. මේ ධර්මය, පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේ. මේ ධර්මය, පටන්ගන්නා ලද කායික, චෛතසික වීර්ය්යය ඇත්තාහටය, මේ ධර්මය, කුසීතයාහට නොවේ. මේ ධර්මය, සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තාහටය, මේ ධර්මය, සිහි මුළාවූවහුට නොවේ. මේ ධර්මය, එකඟවු සිත් ඇත්තාහටය, මේ ධර්මය, එකඟනුවූ සිත් ඇත්තාහට නොවේ. මේ ධර්මය, ප්රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයහට නොවේ.” යනුයි.
“එකල්හි භාග්යවතුන් වහන්සේ, තමන් වහන්සේගේ සිතින් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ සිත (හටගත්) විතර්කය පිරිසිඳ දැන, යම් සේ වනාහි බලවත් පුරුෂයෙක් තෙම, හකුළුවන ලද අතක් දිගුකරන්නේ යම් වේගයකින්ද, දිගුකරණ ලද අතක් හකුළුවන්නේ යම් වේගයකින්ද, එපමණ වේගයෙන් භගු ජනපදයෙහි, සුංසුමාරගිර, භෙසකලාවන මෘගදායෙහි අතුරුදන්වූ සේක්, චෙතිය රට ප්රාචීන වංශදායෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ඉදිරියෙහි පහළවූ සේක.
භාග්යවතුන් වහන්සේ එහි පණවනලද අසුනෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, භාග්යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්සේක. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “යහපති, යහපති, අනුරුද්ධය, ඔබ මහා පුරුෂ විතර්ක සහිත කල්පනා කිරීම යහපත්මය: ‘මේ ධර්මය, අල්පෙච්ඡයාටය. මේ ධර්මය, මහා තෘෂ්ණා ඇත්තාහට නොවේ. මේ ධර්මය, ලද දෙයින් සතුටු වන්නාටය. මේ ධර්මය, ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. මේ ධර්මය, ප්රකර්ෂ විවේක ඇත්තාහටය. මේ ධර්මය, පිරිසෙහි හා ක්ලේශ ධර්මයන්හි ඇලී ගැලී වාසය කරන්නාහට නොවේ. මේ ධර්මය, පටන්ගන්නා ලද කායික, චෛතසික වීර්ය්යය ඇත්තාහටය, මේ ධර්මය, කුසීතයාහට නොවේ. මේ ධර්මය, සතිපට්ඨාන වශයෙන් එළඹ සිටි සිහි ඇත්තාහටය, මේ ධර්මය, සිහි මුළාවූවහුට නොවේ. මේ ධර්මය, එකඟවු සිත් ඇත්තාහටය, මේ ධර්මය, එකඟනුවූ සිත් ඇත්තාහට නොවේ. මේ ධර්මය, ප්රඥාවන්තයාහටය, මේ ධර්මය, අඥානයහට නොවේ.’ යනුයි.”