8. 1. 3. 1.
වෙසාලිකඋග්ග සූත්රය
එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. එහිදී වනාහි භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්රණය කළ සේක. “පින්වතුන් වහන්සැ” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, විශාලාමහනුවර උග්ග්ර ගෘහපතියා ආශ්චර්ය්ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයෙකැයි මෙනෙහි කරවු” යයි මෙසේ වදාළ සේක. සුගතයන් වහන්සේ මෙසේ වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ඉක්බිති එක්තරා භික්ෂූන් වහන්සේ නමක් (ඒ) පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්ර සිවුරු රැගෙන විශාලාමහනුවර උග්ග්ර ගෘහපතියාගේ නිවස යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය.
පැමිණ, පණවන ලද අසුනෙහි වැඩ හුන්නේය. එකල්හි විශාලාමහනුවර උග්ග්ර ගෘහපතියා ඒ භික්ෂූන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ ඒ භික්ෂූන් වහන්සේට සකසා වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ විශාලාමහනුවර උග්ග්ර ගෘහපතියාට ඒ භික්ෂූන් වහන්සේ මෙසේ ප්රකාශ කෙළේය.
“ගෘහපතිය, ඔබ ආශ්චර්ය්ය අද්භූතවූ කරුණු අටකින් යුක්තවූයේයයි භාග්යවතුන් වහන්සේ විසින් වදාළ සේක. ගෘහපතිය, ඔබ කෙරෙහි ඇත්තේයයි භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ආශ්චර්ය්ය අද්භූතවූ කරුණු අට කවරහුද?”
“ස්වාමීන් වහන්ස, මා ආශ්චර්ය්ය අද්භූතවූ කවර කරුණු අටකින් යුක්තවූවෙකු ලෙස භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේදැයි මම නොදනිමි. ස්වාමීන් වහන්ස, එසේද වුවත් මා කෙරෙහි යම් කිසි ආශ්චර්ය්ය අද්භූතවූ කරුණු අටක් විද්යමාන වෙත්. ඒ කරුණු අට ශ්රවණය කළ මැනව. හොඳින් සිතේ තබාගනු මැනව. මම (එය) ප්රකාශ කරන් නෙමි.”
“එසේය, ගෘහපතිය” යි කියා ඒ භික්ෂූන් වහන්සේ විශාලාමහනුවර උග්ග්ර ගෘහපතියාට ප්රතිවචන දුන්නේය. විශාලාමහනුවර උග්ග්ර ගෘහපතියා මෙසේ ප්රකාශ කෙළේය.
“ස්වාමීන් වහන්ස, පළමුකොටම මම යම් දිනක භාග්යවතුන් වහන්සේ දුරදීම දැක්කෙම්ද, ස්වාමීන් වහන්ස, (ඒ) දැකිමත් සමගම භාග්යවතුන් වහන්සේ කෙරෙහි මාගේ සිත ප්රසන්න වූයේය. ස්වාමීන් වහන්ස, මේ පළමුවන ආශ්චර්ය්ය අද්භූතවූ (ගුණ) ධර්මය වනාහි මා කෙරෙහි ඇත්තේය.
“ස්වාමීන් වහන්ස, ඒ මම වනාහි පහන් සිත් ඇත්තේ (ම) භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියෙමි. භාග්යවතුන් වහන්සේ (එසේ) පැමිණියාවු මට අනුපූර්ව කථාව වදාළ සේක. ඒ කෙසේදයත්? දාන කථාවය, ශීල කථාවය, ස්වර්ග කථාවය, කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කෙලෙස් සහිත බවය, ගිහිගෙන් නික්මී පැවිදිවිම හා භවයෙන් නික්මීමෙහි අනුසස්ය. (මේ අතර) යම් අවස්ථාවෙක්හි වනාහි භාග්යවතුන් වහන්සේ, මා නීරෝගී සිත් ඇත්තේයයිද, මෘදුවූ සිත් ඇත්තේයයිද, කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් තොරවූ සිත් ඇත්තේයයිද, ඔදවැඩි සිත් ඇත්තේයයිද, ප්රසන්නවූ සිත් ඇත්තේයයිද, දැන වදාළ සේක්ද, එකල්හි බුදුවරයන් වහන්සේලා විසින් ස්වයම්භූඥානයෙන් අවබෝධ කරණු ලබන්නාවූ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය්ය සත්යය ධර්ම දේශනාවක් වීනම් ඒ ධර්ම දේශනාව වදාළ සේක. “යම්සේ වනාහි පහවූ කිලුටු ඇති ශුද්ධවූ වස්ත්රයක් තෙම මනාකොටම රජනය (වර්ණණය) පිළිගන්නේද, එපරිද්දෙන්ම වනාහි එම අසුනෙහිදිම මට, ඇතිවන ස්වභාවවූ යම් කිසි ධර්මයක් වේ නම්, ඒ සියල්ල නිරුද්ධවන ස්වභාවයයි, කෙලෙස් රජසින් තොරවූ, කෙලෙස් මලින් තොරවූ, මාර්ග ඥානය උපන්නේය.
“ස්වාමීන් වහන්ස, ඒ මම වනාහි දක්නාලද ආර්ය්ය සත්යය ධර්මඥානය ඇත්තේ, පැමිණෙන ලද ආර්ය්ය සත්යය ධර්මඥානය ඇත්තේ, අවබෝධ කරණ ලද ආර්ය්ය සත්යය ධර්මඥානය ඇත්තේ, හාත්පසින් බැස ගන්නා ලද ආර්ය්ය සත්යය ධර්මඥානය ඇත්තේ, තරණය කරණ ලද බුද්ධාදී අට තැන්හි සැක ඇත්තේ (එහෙයින්ම) පහවූ කථංකථ (විචිකිච්ඡා) ඇත්තේ, විශාරද භාවයට පැමිණියේ, ශාස්තෘ ශාසනයෙහි අන්යයෙකුගේ සහායෙන් ලැබියයුතුවු ප්රත්යය රහිතවූයේ, එහිදිම බුදුන්ද, ධර්මයද, සඞ්ඝයාද සරණ ගියෙමි. බ්රහ්මචරියාව පස්වැනිවු ශික්ෂාපදයන් සමාදන් වුයෙමි. ස්වාමීන් වහන්ස, මේ දෙවැනි ආශ්චර්ය්ය අද්භූතවූ (ගුණ) ධර්මය වනාහි මා කෙරෙහි ඇත්තේය.
“ස්වාමීන් වහන්ස, ඒ මට තරුණවූ භාර්ය්යාවෝ සිවු දෙනෙක් වුහ. ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ භාර්ය්යාවන් වෙත පැමිණියෙමි. පැමිණ ඒ භාර්ය්යාවන්ට මෙසේ කීවෙමි. ‘නැගනියෙනි, මා විසින් වනාහි බ්රහ්මචර්ය්යා පස්වැනිවු ශික්ෂාපද (බ්රහ්මචරිය පඤ්චසීලය) සමාදන් වන ලදී. යම් භාර්ය්යාවක් කැමතිනම් මෙහිම සම්පත් අනුභව කෙරේවා. කුසල්ද කෙරේවා, (එසේ නොහැකිනම්) සිය නෑ කුලයට හෝ යේවා. තොප (නැවත) විවාහවනු කැමැත්තහු නම් කවරෙකුට (විවාහකර) දෙම්ද?’ ‘ස්වාමීන් වහන්ස, මෙසේ කී කල්හි ඒ වැඩිමහළු භාර්ය්යා තොම, ‘මා මෙනම් ආර්ය්ය පුත්රයාට (ස්වාමිපුත්රයාහට) දෙව’ යි මට මෙසේ කීවාය.
ස්වාමීන් වහන්ස, එකල්හි මම ඒ පුරුෂයා කැඳවා, වමතින් භාර්ය්යාව අල්වාගෙන, දකුණතින් කෙණ්ඩිය ගෙන, (ඈ) ඒ පුරුෂයාහට (අත පැන් වත්කොට) විවාහ කර දුනිමි. ස්වාමීන් වහන්ස, මම තරුණවූ ඒ භාර්ය්යාව පරිත්යාග කරන්නෙම් සිතෙහි වෙනස් බවක් නොදනිමි. ස්වාමීන් වහන්ස, මේ තුන්වැනි ආශ්චර්ය්ය අද්භූතවූ (ගුණ) ධර්මය වනාහි මා කෙරෙහි ඇත්තේය.