8. 1. 1. 5.
5. සංඛිත්තලොකධම්ම සූත්රය
[සාවත්ථිනිදානං]
5. “මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්මය තෙම ලෝකය ලුහු බඳියි. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්මය අනුව පෙරෙළෙයි.)
“ඒ ලොක ධර්ම අට කෙසේද? ලාභයද, අලාභයද, අයසද, (පරිවාර සම්පත්තියෙන් තොර වීමද) යසසද, (පරිවාර සම්පත් ලැබීමද) නින්දා ලැබිමද, ප්රශංසා ලැබිමද, සැප ලැබීමද, දුක් ලැබීමද, යන අටය.
ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්රශංසාද, සැපද, දුකද යන මේ සත්ත්වයන් කෙරෙහි පවත්නාවූ ලෝක ධර්ම අට අනිත්යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්.
යහපත් සිහියෙන් යුක්තවූ ප්රඥාවන්ත පුද්ගල තෙම මේ අෂ්ට ලෝක ධර්ම ස්වභාවයද දැන අනිත්ය ස්වභාව ධර්මය දකීද, ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. (ක්රෝධ නූපදී.)
ඒ ඉෂ්ටාරම්මණය අනුගමනය කිරීමෙන් (රැකගැනීමෙන්) හෝ එයට විරුද්ධවීමෙන් හෝ විනාශවනු ලබන ආත්මය සහගතවුවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ, නිස්සෝකීවූ (සෝක නැත්තාවූ) ඒ ආර්ය්ය පුද්ගල තෙම නිර්වාණ පදය යහපත් ප්රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේයි.”
8. 1. 1. 6.
6. විතත්ථ ලොක ධම්ම සූත්රය
[සාවත්ථිනිදානං]
6. “මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්මය තෙම ලෝකය ලුහුබඳී. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්මය අනුව පෙරළෙයි.)
“ඒ ලෝක ධර්ම අට කෙසේද යත්? ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්රශංසාද, සැපද, දුකද යන අටය.
“මහණෙනි, ධර්ම විනය නූගත් පෘතග්ජනයාට ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්රශංසාද, සැපද, දුකද උපදී. මහණෙනි, ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්රශංසාද, සැපද, දුකද යන අටය.
මහණෙනි, ධර්ම විනය උගත් ආර්ය්ය ශ්රාවකයාටද ලාභයද අලාභයද යසසද අයසද නින්දාවද ප්රශංසාවද සැපද දුකද උපදී.
“මහණෙනි, ඒ කරුණ පිළිබඳව ධර්ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්ම විනය උගත් ආර්ය්ය ශ්රාවකයාගේ වෙනස කුමක්ද? අධිකවූයේ කුමක්ද? විශේෂ කරුණ කුමක්ද?”
“ස්වාමීන් වහන්ස, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන් ඒ වදාරණ ලද ධර්මයාගේ අර්ත්ථය භාග්යවතුන් වහන්සේම වදාරණ සේක් නම් යහපති. භාග්යවතුන් වහන්සේගෙන්ම (ඒ ධර්මය) අසා භික්ෂහු ඉගෙන ගනිත්.”