7. 2. 3. 6.
6. ස්වාගතසොභන සූත්රය
[සැවැත් නිදානයි]
27. “මහණෙනි, ධර්ම සතකින් යුක්තවූ භික්ෂුතෙම විනයධරවූයේ බබලයි. කවර සතකින්ද යත්:
ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. උභය ප්රාතිමොක්ෂයන් විස්තර වශයෙන් මනාකොට පැමිණියේ වෙයි, මනාකොට බෙදන ලද්දේ වෙයි, මනාකොට පවත්වන ලද්දේ වෙයි, සූත්ර වශයෙන් අනුව්යඤ්ජන වශයෙන් මනාකොට විනිශ්චය කරන ලද්දේ වෙයි. චෛතසිකයන්ගේ උසස් හික්මීම ඇති, මෙලොව සුව විහරණය ඇති, සතර ධ්යානයන් පහසුවෙන් ලබන්නේ නිදුකින් ලබන්නේ මඳ උත්සාහයෙන් ලබන්නේ, ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්රවවූ චිත්ත විමුක්තියද, ප්රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්ම සතකින් යුක්තවූ භික්ෂුතෙම විනයධරවූයේ බබලයි.
7. 2. 3. 7.
7. අසංහීරසොභන සූත්රය
[සැවැත් නිදානයි]
28. “මහණෙනි, ධර්ම සතකින් යුක්තවූ භික්ෂුතෙම විනයධරවූයේ බබලයි. කවර සතකින්ද යත්:
ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. විනයෙහි ස්ථිරව පිහිටියේ වෙයි. චෛතසිකයන්ගේ මනා හික්මීම ඇති, මෙලොවම සුව විහරණ ඇති සතර ධ්යානයන් මඳ උත්සාහයෙන්, නිදුකින්, පහසුවෙන් ලබන්නේ වෙයි. ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්රවවූ චිත්ත විමුක්තියද, ප්රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්ම සතකින් යුක්තවූ භික්ෂුතෙම විනයධරවූයේ බබලයි.
7. 2. 3. 8.
8. පුබ්බෙ නිවාස සොභන සූත්රය
[සැවැත් නිදානයි]
29. “මහණෙනි, ධර්ම සතකින් යුක්තවූ භික්ෂුතෙම විනයධරවූයේ බබලයි. කවර සතකින්ද යත්:
ඇවත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. නන් වැදෑරුම් පූර්වෙනිවාසය සිහි කරයි. කෙසේද? පිරිසිදුවූ මනුෂ්යත්වය ඉක්මවූ දිව ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද, සැපයට පැමිණියාවූද. දුකට පැමිණියාවූද, සත්ත්වයන් දකියි. කර්මය ලෙස එළඹෙන්නාවූ සත්ත්වයන් දකියි. ආශ්රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්රවවූ චිත්ත විමුක්තියද, ප්රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්ම සතකින් යුක්තවූ භික්ෂුතෙම විනයධරවූයේ බබලයි.
7. 2. 3. 9.
9. උපාලි ආයාචන සූත්රය
[සැවැත් නිදානයි]
30. ඉක්බිත්තෙන් ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය:
“මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාවූයේ, වෙන්වූයේ, අප්රමාදවූයේ, කෙළෙස් තවන වීර්ය්ය ඇත්තේ, ආත්මභාවයෙහි දුරු කළ ආශා ඇත්තේ, වාසය කරන්නෙම් නම් ස්වාමිනි, භාග්යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් මනාකොට දේශනා කරණ සේක්වා.