7. 2. 3. 3.
3. අසංහීර සූත්‍රය
[සැවැත් නිදානයි]
24. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි. කවර සතකින්ද යත්:
ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. විනයෙහි ස්ථිරව පිහිටියේ වෙයි. චෛතසිකයන්ගේ මනා හික්මීම ඇති, මෙලොවම සුව විහරණ ඇති සතර ධ්‍යානයන් මඳ උත්සාහයෙන්, නිදුකින්, පහසුවෙන් ලබන්නේ වෙයි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි.
7. 2. 3. 4.
4. පුබ්බේනිවාසලාභී විනයධර සූත්‍රය
[සැවැත් නිදානයි]
25. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි. කවර සතකින්ද යත්:
ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. නන් වැදෑරුම් පූර්‍වෙනිවාසය සිහි කරයි. කෙසේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද -පෙ- මෙසේ ආකාර සහිතව, නම් ගොත් ආදිය සහිතව නන් වැදෑරුම් පූර්‍වෙනිවාසය සිහි කරයි. පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවූ දිව ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද, සැපයට පැමිණියාවූද. දුකට පැමිණියාවූද, සත්ත්‍වයන් දකියි. කර්‍මය ලෙස එළඹෙන්නාවූ සත්ත්‍වයන් දකියි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි.
7. 2. 3. 5.
5. සීලවන්ත සොභන සූත්‍රය
[සැවැත් නිදානයි]
26. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි. කවර සතකින්ද යත්:
ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. සිල්වත් වෙයි -පෙ- ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මෙයි. සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, බහුලව ලබන්නේ වෙයි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.
7. 2. 3. 6.
6. ස්වාගතසොභන සූත්‍රය
[සැවැත් නිදානයි]
27. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි. කවර සතකින්ද යත්:
ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. උභය ප්‍රාතිමොක්‍ෂයන් විස්තර වශයෙන් මනාකොට පැමිණියේ වෙයි, මනාකොට බෙදන ලද්දේ වෙයි, මනාකොට පවත්වන ලද්දේ වෙයි, සූත්‍ර වශයෙන් අනුව්‍යඤ්ජන වශයෙන් මනාකොට විනිශ්චය කරන ලද්දේ වෙයි. චෛතසිකයන්ගේ උසස් හික්මීම ඇති, මෙලොව සුව විහරණය ඇති, සතර ධ්‍යානයන් පහසුවෙන් ලබන්නේ නිදුකින් ලබන්නේ මඳ උත්සාහයෙන් ලබන්නේ, ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.