7. 2. 3. 1.
1. සීලවන්ත විනයධර සූත්‍රය
[සැවැත් නිදානයි]
22. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි. කවර සතකින්ද යත්:
ඇවත දනීද, ඇවැත් නොවන දේ දනීද, ස්වල්පවූ ඇවැත් දනීද, මහා ඇවැත් දනීද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරවූයේ සිල් ඇත්තේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ ස්වල්ප වරදෙහි බිය දක්නා සුළු වූයේ ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙයි. චෛතසිකයන්ගේ උසස් හික්මීමට අයත් මෙලොව සැප විහරණය ඇති සතර ධ්‍යානයන්ගේ පහසුවෙන් ලැබීම වෙයි. නිදුකින් ලැබීම වෙයි. පහසුවෙන් ලැබීම වෙයි. ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනා කොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි.
7. 2. 3. 2.
2. ස්වාගත විනයධර සූත්‍රය
[සැවැත් නිදානයි]
23. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි. කවර සතකින්ද යත්:
ඇවත දනීද, ඇවැත් නොවන දේ දනීද, ස්වල්පවූ ඇවැත් දනීද, මහා ඇවැත් දනීද, උභය (භික්‍ෂු භික්‍ෂුණී) ප්‍රාතිමොක්‍ෂයන් සූත්‍ර වශයෙන් අනුව්‍යඤ්ජන වශයෙන් මනාකොට නිශ්චය වූයේ, ප්‍රගුණවුයේ වේද. චෛතසිකයන්ගේ උසස් හික්මීම ඇති, මෙලොව සුව විහරණය ඇති, සතර ධ්‍යානයන් පහසුවෙන් ලබන්නේ නිදුකින් ලබන්නේ මඳ උත්සාහයෙන් ලබන්නේ, ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි.
7. 2. 3. 3.
3. අසංහීර සූත්‍රය
[සැවැත් නිදානයි]
24. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි. කවර සතකින්ද යත්:
ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. විනයෙහි ස්ථිරව පිහිටියේ වෙයි. චෛතසිකයන්ගේ මනා හික්මීම ඇති, මෙලොවම සුව විහරණ ඇති සතර ධ්‍යානයන් මඳ උත්සාහයෙන්, නිදුකින්, පහසුවෙන් ලබන්නේ වෙයි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි.
7. 2. 3. 4.
4. පුබ්බේනිවාසලාභී විනයධර සූත්‍රය
[සැවැත් නිදානයි]
25. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි. කවර සතකින්ද යත්:
ඇවත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. නන් වැදෑරුම් පූර්‍වෙනිවාසය සිහි කරයි. කෙසේද? පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවූ දිව ඇසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, මනා පැහැ ඇත්තාවූද, දුර්වර්ණවූද, සැපයට පැමිණියාවූද. දුකට පැමිණියාවූද, සත්ත්‍වයන් දකියි. කර්‍මය ලෙස එළඹෙන්නාවූ සත්ත්‍වයන් දකියි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂු තෙම විනයධර වෙයි.
7. 2. 3. 5.
5. සීලවන්ත සොභන සූත්‍රය
[සැවැත් නිදානයි]
26. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි. කවර සතකින්ද යත්:
ඇවත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. ශික්‍ෂා පදයන්හි සමාදන්ව සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, බහුලව ලබන්නේ ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.
7. 2. 3. 6.
6. ස්වාගතසොභන සූත්‍රය
[සැවැත් නිදානයි]
27. “මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි. කවර සතකින්ද යත්:
ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. උභය ප්‍රාතිමොක්‍ෂයන් විස්තර වශයෙන් මනාකොට පැමිණියේ වෙයි, මනාකොට බෙදන ලද්දේ වෙයි, මනාකොට පවත්වන ලද්දේ වෙයි, සූත්‍ර වශයෙන් අනුව්‍යඤ්ජන වශයෙන් මනාකොට විනිශ්චය කරන ලද්දේ වෙයි. චෛතසිකයන්ගේ උසස් හික්මීම ඇති, මෙලොව සුව විහරණය ඇති, සතර ධ්‍යානයන් පහසුවෙන් ලබන්නේ නිදුකින් ලබන්නේ මඳ උත්සාහයෙන් ලබන්නේ, ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.